latest articles

ක්‍රිකට් ගහද්දි අමුතු අමුතු දේවල් කරන්න පුරුදු වෙලා හිටපු ෆේමස් ක්‍රිකටර්ස්ලා


ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ ඉතාම අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ නිසාම වාසනාව සහ අවාසනාව කියන වචන දෙකත් ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ළඟින්ම බැඳිල තියෙන වචන දෙකක්. තමන් සපෝට් කරන කණ්ඩායමට වාසනාව ලැබෙන්න කියලා ගෙදර ඉඳන් මැච් බලන අය උනත් කරන අමුතු අමුතු වැඩ තියනවා. සමහරු විකට් එකක් යයි කියලා ඉඳන් ඉන්න පුටුවෙන් නැගිටින්නේ නෑ. තවත් සමහරුන්ට මැච් දවසට අඳින්න වාසනාවන්ත ඇඳුම් පවා තියනවා. මේක ප්‍රේක්ෂකයන්ට විතරක් පොදු කාරණයක් නෙමෙයි. සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයොන් පවා මැච් එකකදි වාසනාව සහ සාර්ථකත්වය ලැබෙන්නත්, අවාසනාව පළවා හරින්නත් කියලා කරන්න පුරුදු වෙලා ඉන්න අමුතු දේවල් තියනවා. සමහරු මානසික ඒකාග්‍රතාවය රැකගන්නත් මේ දේවල් කරනවා. අපි කලින් ලිපියකදි කිවුවනෙ ක්‍රිකට් ක්‍රීඩකයො වාසනාව ගෙන දෙන අංක තමන්ගෙ ටී ෂර්ට් අංකය හැටියට තෝරගත්ත අවස්ථාත්.
අද අපි කියන්න යන්නෙ අන්න ඒ විදිහට ක්‍රිකට් මැච් අස්සේ අමුතු අමුතු විශ්වාස සහ පුරුදු තියාගෙන ඉන්න ක්‍රීඩකයො කරන වෙනස්ම ආකාරයේ වැඩ කීපයක් ගැන.

1. සනත් ජයසූරියගෙ හෙල්මට් පෑඩ් ඇල්ලීම



Source – youtube.com/Sanath Jayasuriya 189 vs India Sharjah

ක්‍රිකට් තරඟ අතරතුර ක්‍රීඩකයන් කරන්න පුරුදු වෙලා හිටපු අමුතු විදිහේ දේවල් ගැන මතක් කරද්දි මුලින්ම මතකයට නැගෙන නමක් තමයි අපේ සනත් ජයසූරිය. පන්දුවකට මුහුණ දෙන්න කලින් හරි, හයක් හතරක් ගැහුවට පස්සෙ හරි සනත් ජයසූරිය මාරුවෙන් මාරුවට තමන්ගෙ හෙල්මටය සහ පා ආවරණ (පෑඩ්ස්) අල්ලන්න පටන් ගන්නවා. ඊට පස්සෙ කලිසම් සාක්කුවටත් ඇඟිල්ලක් දානවා. සනත්ගෙ ඒ පුරුද්ද ඒ කාලෙ අපිට සුපුරුදු දසුනක් වෙලයි තිබ්බෙ.

2. සිම්බාබ්වේ ඕපනර්ස්ලාගේ අමුතු සුබ පතා ගැනීම



Source – quora.com

ග්‍රාන්ට් ෆ්ලවර් සහ මාර්ක් ඩෙකර් කියන්නේ කාලයක් සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය හැටියට කටයුතු කරපු දෙන්නෙක්. බැට් කරන්න එළියට බහිද්දි දෙන්නගෙ වස් දොස් යන්නටය කියලා මේ දෙන්නා අමුතු විදිහෙ සුබපතා ගැනීමකට හුරු වෙලා හිටියලු. දෙන්නගෙන් එක්කෙනෙක් අනිකාට කියනවලු “මම ප්‍රාර්ථනා කරනව උඹේ ඔලුවෙ බෝලයක් වැදෙන්නටය” කියල. එතකොට අනිත් කෙනා කියනවලු “උඹටත් එසේම වේවා!” කියල.

3. බැට් එක සීලිමේ අලෝලා, වැසිකිළි ආසන පහත දාලා බැට් කරන්න ගිය මැකෙන්සි



Source – sacricketmag.com

ඔයාලට මතකද ඒ කාලේ දකුණු අප්‍රිකාවේ හිටපු පිතිකරුවෙක් වෙච්ච නීල් මැකෙන්සිව? නීල් මැකෙන්සි කියන්නේ බැට් කරන්න යද්දි සාර්ථක වෙන්න කියලා අමුතු අමුතු වැඩ කරපු හාදයෙක්. දවසක් ක්ලබ් මැච් එකක් අතරතුර මැකෙන්සිගෙ සගයෝ එයාගෙ බැට් එක ඩ්‍රෙසින් රූම් එකේ සීලිමට තියලා ටේප් අලවලා තියනවා. වැඩේ කියන්නෙ එදා බැට් කරන්න ගිය මැකෙන්සි කෙලින්ම ගහල සෙන්චරියක්. ඉතින් බැට් එක සීලිමේ අලවපු නිසා තමන්ට වාසනාව උදා වුණා කියල හිතපු මැකෙන්සි එදා පටන් බැට් කරන්න යද්දි සීලිමේ බැට් එකක් රඳවලා යන්න පටන් අරගෙනලු. ඒ විතරක් නෙමෙයි, තවත් අමුතු පුරුද්දක් තිබිලා තියනවා මැකෙන්සිට. ඒ තමයි මැකෙන්සි හැමදාම බැට් කරන්න යන්න කලින් ඩ්‍රෙසින් රූම් එකේ වැසිකිළි සීට් පහත දාලලු යන්නෙ.

4. ටෙන්ඩුල්කාර්ගේ විශ්වාසය



Source – viralbitch.com

ඉන්දීය පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් කියන්නේ තමන් අන්ධ විශ්වාස (Superstition) වලට ලැදි පුද්ගලයෙක් කියල අවංකවම පිළිගන්න ක්‍රීඩකයෙක්. 2011 ලෝක කුසලානෙට ක්‍රීඩා කරන්න යද්දි සචින් තමන්ගේ වාසනාවන්ත බැට් එක අලුත්වැඩියා කරගෙන අරගෙන ආවය කියලත් කතාවක් තියනවා. ඒ වගේම සචින් හැමදාම බැට් කරන්න යද්දි වාසනාව උදාවෙන්න කියල මුලින්ම දාන්නෙ වම් පා ආවරණයලු.

5. ස්ටීව් වෝ සහ රතු ලේන්සුව



Source – wisdenindia.com

හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් වෝ තමන්ගේ වාසනාවේ සලකුණක් හැටියට සැලකුවේ එයාගෙ සීයාගෙන් ලැබුණු රතු ලේන්සුවක්. එයා ක්‍රීඩා කරද්දි මේ ලේන්සුව සාක්කුවෙ දාගෙන තමයි ක්‍රීඩා කරල තියෙන්නෙ. පස්සෙ කාලෙකදි බටහිර ඉන්දීය කොදෙවු ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් මේ ලේන්සුව තමන්ට දෙන්න පුළුවන්ද කියල ස්ටීව් වෝ ගෙන් ඉල්ලීමක් කලාලු. ස්ටීව් වෝත් ලෝබ කමක් නැතුව ලේන්සුව සැමුවෙල්ට තෑගි කරල තියනවා.

6. ස්ටීව් ස්මිත්ගේ ලේස් හැංගිල්ල



Source – sportskeeda.com

ඕස්ට්‍රේලියාවේ තවත් ස්මිත් කෙනෙක් වෙන ස්ටීව් ස්මිත්ටත් අමුතු අන්ධ විශ්වාසයක් තියනවලු. ස්මිත් කැමති නැහැලු තමන් බැට් කරන්න යද්දි සපත්තු ලේස් පේන්න තියෙනවට. ඉතින් දවසක් IPL මැච් එකක බැට් කරන්න යන්න කලින් ස්මිත් කලේ තමන්ගෙ සපත්තු ලේස් මේස් එකට අලවගෙන යන එකලු. එහෙම කරගෙන ගිය පළවැනි මැච් එකේදිම ස්මිත් ශතකයක් වාර්තා කරන්න සමත් වුණාලු. එදා ඉඳන් වාසනාව ගෙන දෙන්න කියලා ස්මිත් බැට් කරන්න යද්දි යන්නෙ ලේස් පටි නොපෙනෙන විදිහට මේස් එකේ රඳවාගෙනලු.

7. ඩේල් ස්ටේන්ගේ වම් කකුල



Source – foxsports.com.au

අපි නම් ඉතින් සුබ ගමනක් යද්දි දකුණු කකුල පෙරට තියලනෙ යන්නෙ. හැබැයි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මැච් එකකදි ක්‍රීඩා පිටියට ඇතුළු වෙන්නෙ වම් කකුල ඉස්සරහට තියලලු. ඒ විතරක් නෙමෙයි වම් කකුල තියල ග්‍රවුන්ඩ් එකට ඇතුලු වෙන ගමන්ම ස්ටේන් අහස දිහාත් බලනවලු.

8. මහේලගෙයි මාලිංගගෙයි කිස්



Source – besttimepass.com, uk.reuters.com

අපේ රටෙන් බිහිවෙච්ච අති විශිෂ්ට පිතිකරුවෙක් වෙන මහේලත්, අති විශිෂ්ට පන්දු යවන්නෙක් වන මාලිංගත් “හාදු පුරුද්ද” නිසා ජනප්‍රිය බව අපි කවුරුත් දන්නවනෙ. තමන් බැට් කරනකොට නිතරම පිත්ත කිස් කරන එක මහේලගේ පුරුද්දක්. ඒ වගේම මාලිංගත් පන්දු යවන්නට දිව එද්දි පන්දුව සිපගන්න බව අපි කවුරුත් දන්න කාරණයක්නෙ.

9. සද්දෙට මියුසික් අහලා බැට් කරන්න යන ක්ලාක්



Source – abc.net.au

හිටපු ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් කියන්නෙත් පන්දුවට පහරදෙන්න යන්න කලින් අමුතු පුරුද්දක් ඇති කරගෙන හිටපු ක්‍රීඩකයෙක්. ඒ පුරුද්ද තමයි හොඳ සද්දෙට සංගීතයට සවන් දීල බැට් කරන්න යන එක. මේකෙන් තමන්ට වාසනාව උදාවෙනව වගේම තමන්ගේ මානසික ඒකාග්‍රතාවයත් රැකෙනව කියල ක්ලාක් විශ්වාස කලාලු.

බෝනස් – නෙල්සන්ගේ අසුබ ඵල දුරු කරන ෂෙපර්ඩ්



Source – armchair-adventurer.com

මේ අමුතු පුරුද්දට නම් සම්බන්ධ වෙන්නෙ ක්‍රීඩකයෙක් නෙමෙයි. මෙයා ක්‍රිකට් විනිසුරුවරයෙක්.
111, 222 වගේ නෙල්සන් ලකුණු සංඛ්‍යාවල් බැට් කරන කණ්ඩායමට අසුබ ඵල උදාකරන බව අපේ ක්‍රිකට් ලෝලීන් දන්නා කරුණක්නෙ. නෙල්සන් කිවුවම අපිට නිරායාසයෙන්ම මතක් වෙන එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි හිටපු විනිසුරු ඩේවිඩ් ෂෙපර්ඩ්. ලකුණු පුවරුවේ නෙල්සන් සටහන් වන අවස්ථාවක ඩේවිඩ් ෂෙපර්ඩ් කරන්නේ නෙල්සන්ගෙ අසුබ ඵල නැති කරන්න කියලා තනි කකුලෙන් හිටගන්න එකයි.
Read more

ෆේස්බුක් හරහා ලව් එකක් හරියකට ගොඩදාගන්න මෙන්න අපෙන් උපදෙස්

ඉස්සර පංසලේදී, බස් එකේදී ඇහැට ඇහැ දීලා, පස්සේ ලියුමක් එහෙමත් දීලා ගොඩදාගත්තු ප්‍රේමේ දැන් සෑහෙන්න ඩිජිටල් වෙලා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සෑහෙන්න දෙනෙක් මේ කාලේ ඔන්ලයින් ඩේටින්ග් වල පිහිට පතනවා. හැබැයි ෆේස්බුක් කියන්නේ ඔන්ලයින් ඩේටින්ග් සයිට් එකක් නොවුණත්, ෆේස්බුක් හරහා ගොඩගියපු ලව් ගණනින් අනන්තයි. හැබැයි ඒ වගේම තමයි ලව් එක ඉලව් කරගෙන කෙළෝගත්තු ෆේස්බුක් ආදර කතන්දරත් අනන්තයි අප්‍රමාණයි. හරි. ෆේස්බුක් කියන්නේ මේ අලුත් ලෝකේ මිනිස්සුන්ට එකිනෙකාව මුණගැහෙන්න තියෙන තැනක් කියන එක අපි පිළිගන්නවානේ. එහෙමනම් ෆේස්බුක් එක හරහා ආදර මෙව්වා එකක් ගොඩදාගන්න එකේත් කිසිම ගැටළුවක් නැහැ. හැබැයි ගැටළුව මතුවෙන්නේ වැඩේ හරියට කරන්න දන්නෙ නැති වුනහම. ආන්න ඒ නිසා අපි ලැහැස්තියි දැයේ දුවා දරුවන්ට ෆේස්බුක් හරහා ලව් එකක් ඕන නං, ඒක හරියකට කරගන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් ටිකක් ලබාදෙන්න.

1. මොකාද මූ?

Source – saraksummers.com

මෙන්න මේක තමයි මේ පොයින්ට් වලින් අතිශයින්ම වැදගත් කාරණාව. හරි ෆේස්බුක් වේවා නැතා ඕනම මංගල්ලෙක වැදගත්ම කාරණාව වෙන්නේ මේක. ඒ තමයි සත්වයා කවුද කියන එක. ෆේස්බුක් එකේ ඕනම කෙනෙක්ට තමන් ගැන ඕනම චිත්‍රයක් මවලා පෙන්නන්න පුලුවන් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අන්න ඒ නිසා ෆේස්බුක් එකේ කවුරුහරි ගැන ආදර හැඟීමක් පහළ වුනොත් වඩාත් හොඳ දේ තමයි ඇත්තටම මේ පෙන්නන කෙනාද කියන එක ගැන හොයලා බලන එක. ඒක ඉතින් කරන්න පුලුවන් පොඩ්ඩක් ප්‍රොෆයිල් එකට ගිහින් ඩිටෙක්ටිව් හැකියාවන් පාවිච්චි කරලා ෆොටෝස් වලින් හොයාගන්න පුලුවන් ඩීටේල් හොයලා, මියුචුවල් ඉන්න කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් කෙනා ගැන අහලා එහෙම. ඇත්තම කතාව තමයි සත්වයාව සියේට අසූවක්වත් හරියට අඳුනගන්න නම් ෆේස්බුක් එකෙන් බෑ. ඒක ගැන අපි ඊලඟට කියනවා.

2. චැට් එකෙන් ලව් නොකරනු

Source – kakprosto.ru

මෙන්න මේක තමයි ඊලඟට වැදගත් කාරණාව. ෆේස්බුක් එකෙන් මුණගැහිලා, චැට් එකෙන් දෙන්නට දෙන්නා අඳුනගත්තා කියලා ලව් එක පටන් ගන්න යන්න එපා. කොයි තරම් එයාට කැමතියි කියලා හිත කිව්වත් බොහොම දැඩි වාරණයක් හිතට පනවා ගන්න, ඇත්ත ජීවිතේ හම්බුවෙලා ඇත්තට දැන අඳුනගන්නේ නැතුව ඉස්සරහට යන්න සිග්නල් ලයිට් දාන්නෙ නැහැයි කියලා. හේතුව සරලයි. ඔය ගොඩක් වෙලාවට චැට් කරලා ලව් එක දෙල් මෝරනවා වගේ මෝරලා ගියාට පස්සේ ඇත්තට මුණගැහෙන කපල්, පළවෙනි ඩේට් එකෙන් පස්සෙම හිමීට මාරු වෙලා යනවා. ඒක ගැන ඊලඟට කතා කරමු.

3. ෆොටෝ සෝප් ගාලා

Source – internetinnovation.com.br

අපි කාටහරි ලව් කරන්නේ සමහර විට ඇත්තට දැකලා නොවුණත්, ඔය පෙනුම කියන එක අනිවා වැදගත් වෙන දෙයක්නේ. මොකද රූපසුන්දරියෝ හරි නළුවෝ වගේ හැන්ඩියෝ හරි හෙව්වෙ නැතත් අඩු ගාණේ පාරේ ගෙනියන්න පුලුවන් කෙල්ලෙක්ව කොල්ලෙක්වනේ ඕන කෙනෙක් යාලුකරගන්න කැමති. ආන්න එතනදී ෆේස්බුක් ලව් එකක් පීළි පනින්න පුලුවන්. ඇයි? දැන් ඔය අලුත්ම ස්මාට්ෆෝන් වල කැමරාවේ තියෙනවා බියුටි ‍ෆිල්ටර්ස්. ඒ කියන්නේ සෙල්‍ෆිය ගහන්න කලින්ම බියුටි ලෙවල් එක හදාගන්න පුලුවන්. ඒකෙන් අර මූණුවල තියෙන පැච් එහෙම වහලා, ෆොටෝ එකට පොඩි ඩ්‍රීමි ලුක් එකක් ලබාදෙනවා. දැන් ඕවා නැතත් කෙල්ලෝ කොල්ලෝ ගන්න සෙල්‍ෆි ෆෝන් එකෙන් හරි එඩිට් කරලනේ ෆේස්බුක් දාන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔය අයියලා නංගිලා චැට් වලට සෙට් වෙන්නේ ඔය වගේ ෆොටෝ වල තියෙන ඒන්ජල් ලුක් එකට ‍රැවටිලා කියන එක බොරු නෙවෙයි. හැබැයි ඉතින් එහෙම ලව් කරලා ඇත්තට මුණගැහුනට පස්සේ පෙනුම අවුල් නං, ෂේප් එකේ පළවෙනි ඩේට් එකෙන්ම මාරු වෙන අයියලා නංගිලා ඕන තරම් ඉන්නවා. ආන්න ඒ නිසා හොඳම දේ තමයි ඇත්ත ජීවිතේ මුණගැහෙනකල් ලව් එක මෝරන්න ඉඩ නොතියන එක.

4. ලව් එක ෆේස්බුක් එකේ නොදාන්න

Source – wikimedia.org

දැන් ඔය ෆේස්බුක් ඩ්‍රාමා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම දේවල්. ඔන්න දෙන්නෙක් ෆේස්බුක් එකෙන් ලව් එකක් පටන් ගන්නවා. දැන් ඒ ලව් එක දෙගොඩතලා යන්නේ ෆේස්බුක් වෝල් එකේ. දැන් ඕකට විෂ් කරන්න වගේම කෙළවන්නත් ඕන තරම් මිනිස්සු ඉන්නවා. අනික සමහර වෙලාවට එහාට මෙහාට ගිනි තියන්න දක්ෂ ඩයලුත් මේ වගේ වැඩ පටන් ගන්නවා. අන්තිමට එක්කෝ ඉන්බොක්ස් මැසේජස්, ස්ක්‍රීන් ෂොට් අනං මනං වෙඩි උණ්ඩ වගේ එහාට මෙහාට ගිහිල්ලා ලව් එක කැඩෙනවා. ඒ නැතත් මොකක් හරි නොගැලපීමක් හින්දා ලව් එකට තිත තියන්න වුනත්, ඉන් පස්සේ මෙච්චර කල් තමන්ගේ ලව් ටීටර් එක බලාගෙන හිටපු එවුන්ට කරුණු පහදන්න වෙනවා. බලනකොට තමන්ගේ ආදර ජීවිතේ තුන්ලෝකේම දැනගෙන ඉඳලා. ඒ නිසා ෆේස්බුක් එකෙන් අඳුනගත්තත් කමක් නෑ ලව් එක ෆේස්බුක් ස්ටේට්ස් වලින් දුවවන්නේ නැතුව ඉන්න දැනගන්න ඕන.

5. ලෝන්ග් ඩිස්ටන්ස්

Source – lubov.spisanie.to

ෆේස්බුක් එකෙන් පටන් අරගෙන ලව් කෙළවෙන එක තැනක් තමයි ලෝන්ග් ඩිස්ටන්ස් ලව්, ඒ කියන්නේ එයා ලෝකේ එහා කොණේ මම මෙහා කොණේ හැබැයි අපේ ලව් එක ෆේස්බුක් කොණේ කියලා යන ලව්. මේක ප්‍රශ්නයක් නෑ එක පාරක් හරි දෙපාරක් හරි වත් මුණගැහිලා, ඉන් පස්සේ ලව් එක පවත්වගෙන යන්න ෆේස්බුක් එක මාධ්‍යයක් විදියට පාවිච්චි කළාට. හැබැයි එහෙම නැතුව ජීවිතේට දැකලා නැති මනුස්සයෙක්ව ෆේස්බුක් එකෙන් අඳුනගෙන, රටවල් දෙකක ඉඳන් ෆේස්බුක් හරහාම හනිමූන් යන තැනට එනකල් ලව් ඩිවලොප් කරන එක අසාර්ථක වෙන්න ඉඩ වැඩියි විතරක් නෙවෙයි, භයානක වෙන්නත් පුලුවන්. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ අපිට අහන්න ලැබෙන දේවල් ගැන.

6. අවංකකම දෙපැත්තටම

Source – gfycat.com

මෙන්න මේක ෆේස්බුක් හරහා කරන ලව් එකකට විතරක් නෙවෙයි, වෙන ඕන ක්‍රමේකට පටන් ගන්න ලව් එකකට අනිවා අදාළ කාරණාවක්. අවංකකම. හැබැයි ෆේස්බුක් හරහා දැන අඳුනගෙන ලව් එකකට යනවා නං මේක අනිවා තියෙන්න ඕන අවශ්‍ය ප්‍රමාණයට. මොකක්ද ඒ හරුපේ තේරුම? මෙහෙමයි. එකක්, අද හායි කියලා හෙට “යූ ආර් හැන්ඩ්සම්” කියලා ෆොටෝ එකට කමෙන්ට් එකක් දැම්ම පලියට ආතගේ මුත්තගේ ඉඳන් විස්තර කියන අවංක කම හරියන්නෙ නෑ. මුලින් දෙන්නට දෙන්නා අඳුනගන්නකොට අවශ්‍ය මූලික විස්තර විතරක් කියලා තියෙන එක හොඳටම ඇති. එතනින් එහාට ක්‍රම ක්‍රමයෙන් සබඳතාවය වර්ධනය වෙනකොට, අනික් කෙනාගේ අවංකකම ගැන බොහොම තියුණු නිරීක්ෂණයක ඉන්න අතරේම තමන්ගේ විස්තරත් අවංකව කිවුවට කමක් නෑ. හැබැයි මේ අවංකව කියන්න ඕන ඉස්සරවෙලා යාලුවෙලා හිටපු කොල්ලගේ විස්තරයි අරකයි මේකයි  ගැන නෙවෙයි. හැබැයි තමන්ගේ පසුබිම් විස්තර ගැන බොරු කියන එක, තමන් මේ වෙනකොට සම්බන්ධතාවයක ඉන්නවද නැද්ද වගේ කරුණු කාරණා ගැන බොරු කියන එක ඒ තරම් නුවණට හුරු නැහැ.

7. ගනුදෙනු තියාගන්න එපා

Source – yourtango.com

මෙන්න මේක බොහෝම වැදගත් දෙයක්. ෆේස්බුක් එක හරහා ලව් එක දෝරෙ ගලාගෙන ගිහින් මී මැස්සෝ රොන් ගෙනියන්න එන ලෙවල් එකට ආවත් යම් යම් සීමාවන් තියෙන්න ඕන. ඒ එකක් තමයි මූල්‍යමය ගනුදෙනු, ඇප වීම් වගේ සීන් තියා නොගන්න එක. හේතුව සරලයි. ෆේස්බුක් එක හරහා මනුස්සයෙක්ව අඳුනගන්න බෑ. අනික මේ වගේ “දෙනු” වලින් අපේ හිතුත් රිදිලා, පාඩුත් වෙලා ලව් එක ක්ලෝස් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ හින්දා ෆේස්බුක් එක හරහා මේ මුණගැහෙන්නේ ජීවිතේට මහ බඹා නළලේ කොටපු අනාගත හස්බන්ඩ් නැතිනම් වයිෆ් වෙන්න පුලුවන්. හැබැයි ඒක මහපොළොවට ගෙනැල්ලා, දෙන්නට දෙන්නා අඳුනගෙන කරගෙන නිල වශයෙන් ආදර සම්බන්ධයකට යනකල් මේ විදියේ ගනුදෙනු සහ වෙන වෙන විදිවල ගනුදෙනු වුනත් තියා නොගන්න එක ලව් එකට හොඳයි.

දැන් අන්තිමට අපිට පුලුවන් මෙච්චර වෙලා කියපු දේවල් එක සරල තැනකට සාරාංශ කරන්න. ෆේස්බුක් හරහා දැන අඳුනගන්න කෙනෙක් එක්ක ලව් එකක් ගොඩදාගන්න කරන්න තියෙන හොඳම දේ තමයි ඒ ලව් එක සයිබර් අවකාශයෙන් මහ පොළවට ගේන එක. දෙන්නා ඇත්ත ජීවිතේ මුණගැහෙන්න ඕන. ආශ්‍රය කරන්න ඕන. ලව් එක ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙන්න දෙන්න ඕන
Read more

ශාරුක් ඛාන්ගෙ සිනමා ජීවිතේ වැදගත්ම සහ වෙනස් රංගනයන් සහිත චිත්‍රපට


ශාරුක් ඛාන් ගැන මතක අවුස්සද්දි මුලින්ම එන මතකයක් තමයි 90 ගණන්වලදි මෙහෙ ටීවී එකේ පෙන්වපු ෆවුජි ටෙලි නාට්‍යය. ශාරුක් ඒකෙ රඟපෑවෙ අභිමන්‍යු රායි කියන සෙබලෙක්ගෙ චරිතයක්. ඊට පස්සෙත් ඉඳහිට ශාරුක් ඛාන්ව අපිට රූපවාහිනියෙන් මුණ ගැහෙනව. එන්න එන්නම මේ මුණගැහීම් වැඩි වෙද්දි ශාරුක් බොලිවුඩයෙ ජනප්‍රියම නළුවෙක් වෙලාය කියල අපිට දැනෙන්න ගන්නව. ශාරුක්ගෙ හැම ෆිල්ම් එකක්ම වගේ හිට් වෙන්නත් ගන්නව. මිනිස්සු ශාරුක්ගෙ ෆිල්ම් එනකම් බලන් ඉන්නෙ හෝටලේක රස කෑමක් පිළියෙල වෙලා එනකම් නොඉවසිල්ලෙන් බලන් ඉන්න බඩජාරියො ටිකක් වගේ. ශාරුක්ගෙ ෆිල්ම් ඇතුලෙ තියෙන්නෙ සැරටම දැනෙන හැඟීම් ගොඩක මිශ්‍රණයක්. චිත්‍රපටයෙ පළවැනි පැයේදි බඩවල් අල්ලගෙන හිනාවෙන මිනිස්සු, දෙවැනි පැයේදි කාටත් හොරෙන් තමන්ගෙ කඳුළු පිහිදගන්න හැටි අපි සැවෝයි එකේදිත් දැකල තියනව.


සමහරු කියන්න පුලුවන් ශාරුක් කියන්නෙ බොළඳ චරිත, මල් චරිත වලටම කොටු වෙලා ජනප්‍රියත්වය කරා ආපු නලුවෙක්ය කියල. හැබැයි ඒ හුඟ දෙනෙක් ශාරුක් සිනමාව ඔස්සේ ආපු ගමන් මග ගැන දන්නවා අඩු නිසයි එහෙම කියන්නෙ. අපි බලමුද කොහොමද ශාරුක් තමන්ගෙ චිත්‍රපට හරහා ටිකෙන් ටික බොලිවුඩ් කිරුළ දක්වා නැග්ගෙ කියල? මේ කියන්න හදන්නෙ ශාරුක්ගෙ රංගන ජීවිතයට වැදගත්ම වෙච්ච සිනමා පට 12ක් ගැන.




1) දීවානා (1992) – වාසනාවන්ත ආරම්භය




Source – postimg.org




ශාරුක් ඛාන් බොලිවුඩ් සිනමාවට එන්නෙ දීවානා චිත්‍රපටයෙන් තමයි. මේ චිත්‍රපටය විශේෂ වන කාරණා කීපයක් තියනවා. දීවානා චිත්‍රපටයට ශාරුක්ට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන්න හිටපු නලුවෙක් චිත්‍රපටය හැරයාමත් එක්කයි. ඒ අනුව තමයි රිශී කපූර් සහ දිව්‍යා භාරතී එක්ක ප්‍රධාන චරිතයකින් එකතු වෙමින් ශාරුක්ට බොලිවුඩයට ඇතුලුවෙන්න අවස්ථාව ලැබෙන්නෙ. දීවානා චිත්‍රපටය ඉතාම සුන්දර ගීත රැසක් තිබ්බ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය සඳහා ශාරුක්ට ඒ අවුරුද්දෙ ෆිල්ම් ෆෙයාර් එකේදි හොඳම නවක නළුවා සම්මානෙත් හිමිවෙනව. ඒ විතරක් නෙමෙයි, තවත් පුදුම හිතෙන කාරණේකුත් තියනව. ඒ තමයි දීවානා තිරගත කරල අවුරුදු 25කුත් ගත වුණත් අද වෙනකම් ශාරුක් මේ චිත්‍රපටය නරඹලා නැති එක. තමන් රඟපාන පළවෙනි සහ අවසාන චිත්‍රපටය තමන් නරඹන්නෙ නෑ කියලයි ශාරුක් කියන්නෙ.




2) බාසිගර් (1993) – නිර්භීත දුෂ්ට චරිත රඟපෑම




Source – srk-news.livejournal.com




තම සිනමා ජීවිතේ ආරම්භ කරපු හැටියේ දුෂ්ට චරිතයක් රඟපාන එක හුඟක් බොලිවුඩ් නලුවො දකින්නෙ තමන්ගෙ අනාගත ජනප්‍රියත්වයට, හීරෝ කැරැට්ටුවට කරගන්න මහ විනාසයක් හැටියටයි. හැබැයි ශාරුක් ඛාන් එහෙම හිතන කෙනෙක් නෙමෙයි. සල්මාන් ඛාන් විසින් ප්‍රතික්ෂේප කරන බාසිගර්හි දුෂ්ට චරිතය ශාරුක් බාර ගන්නව. ශාරුක් කාජොල් සුසංයෝගය මුල් වරට ඇති වෙන්නෙත් මේ චිත්‍රපටයෙ තමයි. බාසිගර් වාණිජ අතින් ඉතාම සාර්ථක චිත්‍රපටයක් බවට පත්වෙනව. ශාරුක්ට තමන්ගෙ පළවැනි ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා සම්මානෙ හිමිවෙන්නෙත් බාසිගර් චිත්‍රපටයෙන් තමයි. බාසිගර් එකේ මතක හිටින රඟපෑමත්, ෆිල්ම් ෆෙයාර් සම්මානයත් ශාරුක්ව තවත් ලෙවල් එකකින් උස්සලා තියන්න සමත් වෙනව.


3) ඩර් (1993) – වීරයා පැරදවූ දුෂ්ටයා




Source – theyouthmagazine.com




බාසිගර් චිත්‍රපටයෙන් පස්සෙ ශාරුක් ආයෙත් ප්‍රේක්ෂකයා හමුවට එන්නෙ තවත් නෙගටිව් රෝල් එකකින්. ඒ ඩර් චිත්‍රපටයෙන්. “ජාදූ තේරී නසර්…” සින්දුව තියන, “අයි ලවු යූ ක්. ක්. ක්. ක් කිරන්…” කියාගෙන පිස්සෙක් වගේ ජුහී චවුලගෙ පස්සෙන් යන චරිතය ශාරුක් මේකෙදි නියමෙට කරනව. මේක ශාරුක් ඛාන්ගෙ හොඳම රඟපෑමක්ය කියල අපිට කියන්න අමාරුයි. ඒ උනත් ඩර් චිත්‍රපටය හිට් එකක් උනේ ශාරුක් නිසා කියන එක නම් අනිවා පිළිගන්න වෙන දෙයක්. තවත් කෙනෙක් එක්ක ආදරෙන් බැඳිල ඉන්න කෙල්ලෙක්ව හිමිකරගන්න උන්මත්තක ස්වභාවයෙන් පස්සෙන් යන, දුෂ්ට වැඩ කරන චරිතයක් තමයි ශාරුක්ට කරන්න පැවරිලා තිබ්බෙ. මේ චරිතෙට ශාරුක් කොච්චර වෙනසක් එකතු කරල සාධාරණයක් කලාද කියනවනම් මේ චිත්‍රපටය අවසන් වෙන්නෙ දුෂ්ටයා හීරෝටත් වඩා ප්‍රසිද්ධ වෙලා. හින්දි චිත්‍රපට වල සාමාන්‍යයෙන් දකින්න තියන විදිහේ ෆ්ලැට් සහ බෝරිං දුෂ්ට චරිතයක් උනත් කොච්චර දැනෙන්න රඟපාන්න පුලුවන්ද කියල ශාරුක් මේ චිත්‍රපටයෙන් ඔප්පු කරල පෙන්නනව.


ඩර් ෆිල්ම් එකට ශාරුක් හොඳම දුෂ්ට නලුවා හැටියටත් ෆිල්ම් ෆෙයාර් වලට නිර්දේශ වෙනව. ඒ පාර දුෂ්ට නළුවා සම්මානෙ දිනා ගන්න බැරි උනත්, ඊට අවුරුද්දකට පස්සෙ වෙනත් චිත්‍රපටයක් හරහා දුෂ්ට චරිත රංගනේකින් ෆිල්ම් ෆෙයාර් දිනන්න ශාරුක්ට හැකියාව ලැබෙනව. ඒ චිත්‍රපටය තමයි මධුරි එක්ක රඟපාපු “අන්ජාම්” චිත්‍රපටය.


4) කභි හාන් කභි නා (1994) – පරාජිත පෙම්වතා




Source – dunedain-srk.net




ශාරුක් ඛාන් රඟපාපු චිත්‍රපට අතරින් වැඩිපුරම කියවෙන්නෙ නැති නමක් තමයි මේ චිත්‍රපටය. මේක ගොඩ දෙනෙක් බලලත් නැතිව ඇති. හැබැයි මුල් කාලෙ ශාරුක්ගෙ හොඳම සහ ස්වභාවික රංගනයක් තිබ්බ චිත්‍රපටයක් හැටියට අපිට මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. මේකත් අන්සතු ළඳකට පෙම් කරන ටයිප් චිත්‍රපටයක් තමයි. හැබැයි මේකෙ ශාරුක් රඟපාන්නෙ දුෂ්ට චරිතයක් නෙමෙයි. කභි හාන් කභි නා කියන්නෙ තමන් රඟපාපු චිත්‍රපට අතරින් තමන්ගේ ප්‍රියතම චිත්‍රපටය කියලත් වරක් ශාරුක් ප්‍රකාශ කරනව. ඒ කාලෙ නළුවො වැඩි දෙනෙක් භාරගන්න අකමැති විදිහේ පරාජිතයෙක්ගෙ චරිතයක් රඟපෑවත්, චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහෙ රංගනයක් නිරත වෙමින් මේ චිත්‍රපටයෙනුත් කැපී පෙනෙනම චරිතය කරන්න ශාරුක්ට හැකියාව ලැබෙනව.

5) දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ (1995) – ශාරුක්ගේ ජීවිතය වෙනස්කල චිත්‍රපටය



Source – studioflicks.com




ආදායම් වාර්තා තියමින් අවුරුදු ගාණක් තිස්සේ සිනමාහල් වල දුවපු “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටය තමයි ශාරුක් ඛාන් අද ඉන්න සුපර් ස්ටාර් මට්ටමට මුල් පියවර තිබ්බ චිත්‍රපටය. පෙම්වතා චරිතය කළින් රඟපාල තිබුණත් මේ චිත්‍රපටයෙන් පස්සෙ තමයි බොලිවුඩයේ රෝමාන්තිකම පෙම්වතා හැටියට ශාරුක්ව හැඳින්වෙන්න පටන් ගන්නේ. බාසිගර් චිත්‍රපටයෙන් මුල් වරට හමුවුණ කාජොල් එක්ක සුසංයෝගය නියමෙටම වැඩ කරන්නෙ දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගෙ වලින් තමයි. එතැන ඉඳල තව දශකයක් විතර යනකම්ම මේ දෙන්නට හින්දි සිනමා ඉතිහාසයේ හොඳම යුවලක් හැටියට වැජඹෙන්න ලැබෙනව. ඒ විතරක් නෙමෙයි DDLJ චිත්‍රපටය ලබන අතිසාර්ථකත්වයත් එක්කම බොලිවුඩ් ප්‍රේමාන්විත චිත්‍රපට රැල්ලකටත් පාර කැපෙනව. මුල් භාගයෙ ලවු සින්දු සහ අන්තිම හරියෙ සටන් ජවනිකා පිරිච්ච සාම්ප්‍රදායික බොලිවුඩ් චිත්‍රපට රටාව වෙනස් වෙලා ආදරය, පවුල සහ පුද්ගල සම්බන්ධතා ගැන කතා කෙරෙන චිත්‍රපට වැඩිපුර බිහිවෙන්න පටන් ගන්නවා.

6) දිල් සේ… (1998) – අභියෝගාත්මක චරිත රංගනය








ශාරුක් ඛාන් සහ මනි රත්නම් කියන්නෙ එකකට එකක් පෑහෙන්නෙ නැති නම් දෙකක් කියල බැලූ බැල්මට හිතේවි. මනි රත්නම්ගෙ සිනමාව කියන්නෙ සාමාන්‍ය බොලිවුඩ් සිනමාපට වලට වඩා වෙනස් දේවල් සිද්ධ වෙන, යතාර්ථයට වඩාත් ළඟ චිත්‍රපට. බොලිවුඩ් වල ඒ වෙද්දි හිටපු ප්‍රේමාන්විතම නළුවව සහ මනීෂා කොයිරාලව එක් කරල මනි රත්නම් හදන දිල්සේ චිත්‍රපටය අඳුරු, ත්‍රාසජනක, ආදර කතාවක් කියල හඳුන්වන්න පුලුවන්. මේ චිත්‍රපටයේ දෙබස් වල භාවිතයත් ඉතා වැඩියි. ඒවත් අර සාම්ප්‍රදායික ආදර කතා වල දකින්න තියන තාලෙ මල් ටයිප් දෙබස් නෙමෙයි. ඒ අතින් ගත්තහම ශාරුක්ගෙ සිනමා ජීවිතේ මුහුණ දෙන්න ලැබුණු ලොකුම අභියෝගයක් තමයි දිල් සේ චිත්‍රපටය. හැබැයි මේ අභියෝගය මොන තරම් දරුණු උනත් අවසානයේදී ඉහලම ලකුණු ඇතිව මේක ජයගන්න ශාරුක් ඛාන් සමත් වෙනවා. අදටත් ශාරුක්ගෙ හොඳම රංගනයක් විදිහට දිල් සේ චිත්‍රපටයේ ශාරුක්ගෙ රඟපෑම අපිට දක්වන්න පුලුවන්.

7) දේව්දාස් (2002) – දේව්දාස්ගේ පුනරුප්පත්තිය




Source – imdb.com

ශාරුක්ගෙ රංගනයන් ගැන කතා කරද්දි දේව්දාස් කියන්නෙ අපිට අතහරින්නම බැරි චිත්‍රපටයක්. ඒකට හේතු කීපයක්ම තියනවා. එකක් තමයි 1955 අවුරුද්දෙ මුල්වරට හදපු දේව්දාස් චිත්‍රපටය හින්දි සිනමා ඉතිහාසයේ සුවිශේෂීම චිත්‍රපටයක් වීම. දෙවැනි හේතුව තමයි ඔරිජිනල් දේව්දාස් හැටියට රඟපාපු දිලිප් කුමාර් ඒ චිත්‍රපටයෙ විශිෂ්ට රංගනයක නිරත වෙලා තිබීම. මේ හින්ද සංජය ලීලා බන්සාලි දේව්දාස් රීමේක් කරනව කිවුවම හුඟක් අය අහන්න ගත්තා දේව්දාස් ආපහු හදල තේරුමක් තියේද කියල. ශාරුක් ඛාන් දේව්දාස් චරිතය කොහොම නිරූපණය කරයිද කියලත් හුඟ දෙනෙක් සැක පහල කලා. හැබැයි අවසානයේදී ඒ සියලු සැක සංකා ඉවත හෙලමින් ශාරුක්ගෙ රංගනය වගේම දේව්දාස් චිත්‍රපටයත් සාර්ථක, ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත්වුණා. ඛේදාන්තයක් කරා ඇදෙන ආදර කතාවකින් සමන්විත මේ චිත්‍රපටයේ මධුලොල්, දුක්ඛිත ප්‍රේමවන්තයාගෙ චරිතයට ශාරුක් ආරූඪ වෙලා රඟ දැක්වුව කියල කියන්න පුලුවන්. දෙබස් වගේම සුළු සුළු ඉරියව් වලින් පවා මේ චිත්‍රපටයේ රංගනයට ශාරුක් ගත්ත වෙහෙස කැපිල පේනව. ශාරුක්ම කියනව මේ චිත්‍රපටය රූගත කරන කාලය පුරාවටම ඔහු ගතකලේ දුකෙන්ය කියල.

8) ස්වදේශ් (2004) – ශාරුක්ගේ විශිෂ්ටතම රංගනය?


Source – storypick.com

ස්වදේශ් චිත්‍රපටයේ රංගනය ශාරුක්ගේ හොඳම රංගනය කියලයි ගොඩ දෙනෙක් හඳුන්වන්නෙ. මේකත් අර අපි කලින් කියපු දිල් සේ චිත්‍රපටය වගේම ශාරුක්ව අඩුවෙන් මතුවෙලා ශාරුක් රඟපාන චරිතය වැඩියෙන් ඉස්මතු වෙන චිත්‍රපටයක්. නාසාහි රැකියාව කරන මෝහන් භර්ගවා කියන විද්‍යාඥයා ඉන්දියාවේ ගමකට ඇවිල්ල ඒ අයට විදුලි බලය ලබාදෙන්න උත්සාහ කරන සිදුවීමක් වටා තමයි මේ චිත්‍රපටයේ මූලික කතාව ගෙතෙන්නෙ. බොහෝම ස්වභාවික විදිහේ රංගනයක නිරත වෙමින්, ශාරුක් ඛාන්ව අමතක වෙන තරම්ම හොඳින් මේ චරිතය ශාරුක් විසින් ගොඩ නගනවා. ආදායම් අතින් අසාර්ථක චිත්‍රපටයක් උනත් හින්දි සිනමා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටයක් හැටියටත්, ශාරුක් ඛාන්ගෙ හොඳම රංගනයක් දකින්න ලැබුණ චිත්‍රපටයක් හැටියටත් මේ චිත්‍රපටය මතකයේ රැඳී තියේවි.

9) චක්දේ! ඉන්දියා (2007) – මතකයේ රැඳෙන කබීර් ඛාන්


Source – blog.daum.net

බොලිවුඩයෙන් බිහිවෙච්ච හොඳම ක්‍රීඩා චිත්‍රපටයක් තමයි චක්දේ ඉන්දියා. මේ චිත්‍රපටයත් ස්වදේශ් වගේම රංගනය පැත්තෙන් ශාරුක්ගෙ ප්‍රතිභාව කැපී පෙන්වන්න සමත් වෙච්ච චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් ශාරුක්ව දකින්න නොලැබෙන විදිහේ චරිතයකින් තමයි චක්දේ චිත්‍රපටයෙන් ශාරුක් අප හමුවට එන්නෙ. ඉන්දීය කාන්තා හොකී කණ්ඩායම පුහුණු කරවන “කබීර් ඛාන්” කියන පුහුණුකරුගේ චරිතය තමයි මේකෙ ශාරුක් රඟදක්වන්නෙ. ජාති කුල ආගම් භේද, ලිංග භේද පසෙකින් තියල රටක් හැටියට එකාවන්ව ක්‍රියා කරන හැටි කියල දෙන නියම ඉන්ස්පිරේෂනල් ෆිල්ම් එකක් මේක. ශාරුක් ඛාන්ගෙ රංගන ජීවිතේ සන්ධිස්ථානයක් හැටියටත් චක්දේ ඉන්දියා චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්.

10) මයි නේම් ඉස් ඛාන් (2010) – සංවේදී චරිත රංගනයක


Source – berlinale.de

මයි නේම් ඉස් ඛාන් චිත්‍රපටයෙනුත් වෙනස්ම ආකාරයේ චරිත රංගනයක නිරත වෙන්න ශාරුක්ට අවස්ථාව ලැබෙනවා. ඒ ඇස්පර්ගර්ස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන මුස්ලිම් තරුණයෙක්ගෙ චරිතයක්. තමන් ත්‍රස්තවාදියෙක් නොවන බවට ඔප්පු කරන්න ඇමරිකා එක්සත් ජනපදයෙ ජනාධිපතිව හමුවෙන්න යන රිස්වාන් ඛාන්ගෙ සංවේදී කතා පුවත තමයි මයි නේම් ඉන් ඛාන් වෙතින් දිගහැරෙන්නේ. කාලෙකට පස්සෙ ශාරුක් කාජොල් සුසංයෝගය දකින්න ලැබුණු මේ චිත්‍රපටය ඉන්දියාවෙන් පිටතදීත් සාර්ථකව තිරගත වුණා. ඒ උනාට මේ චිත්‍රපටය ගැනනම් වැඩි හොඳක් කියන්නට අපිට හැකියාවක් නැහැ. චිත්‍රපටයේ මුල් භාගයේදී චිත්‍රපටයත්, ශාරුක්ගෙ චරිතයත් ගොඩ නැගීගෙන ආපු විදිහ චිත්‍රපටයේ දෙවැනි භාගයේදී බිඳ වැටෙනව කියලයි අපිට හිතුනෙ. කොහොම වෙතත් “ඛාන්” චරිතයත් අපිට දැනෙන විදිහට රඟපාන්න ශාරුක් සමත් වෙනව.

11) ෆෑන් (2016) – නලුවා සහ රසිකයා




Source – bollywoodhungama.com


ඛාන්ගෙන් පස්සෙ අපි එනව ෆෑන් වෙත. ෆෑන් චිත්‍රපටයෙන් ශාරුක්ට ලැබෙන්නේ රංගන ශිල්පියෙකුට ලැබෙන ඉතාම දුර්ලභ ගණයේ චරිත රංගනයක යෙදෙන්න තමයි. සුපර්ස්ටාර් ආර්යන් ඛන්නා කියන ශාරුක්ගෙ සැබෑ ජීවිතයට ආසන්න චරිතයකුත්, ගෞරව් චන්ද්නා කියන ඔහුගේ හොඳම රසිකයාගෙ චරිතයත් යන දෙකම ශාරුක් විසින් රඟදක්වනව. ස්වදේශ් සහ චක්දේ ඉන්දියා චිත්‍රපට වලදි වෙනස් සහ කැපී පෙනෙන රංගනයන් කරපු ශාරුක් දැන් ඒ විදිහෙ චරිත කරන්නෙ නැත්තෙ ඇයි කියල අහපු බහුතරයක් ප්‍රේක්ෂකයන්ටත් ෆෑන් චිත්‍රපටය හරහා පිළිතුරු දෙන්න ශාරුක් සමත් වෙනව.


Read more

බොලිවුඩ් සිනමාව පරද්දන මොලිවුඩ්, ටොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාවන් ගැන දැනගනිමු



ලංකාවෙ සිනමා රසිකයො ගත්තොත් වැඩි හරියක්ම ඉන්නෙ හොලිවුඩ් සහ බොලිවුඩ් සිනමා රසිකයො තමයි. කොලිවුඩ්, එහෙමත් නැත්නම් දමිල චිත්‍රපටි බලන අයත් යම් පමණකට ඉන්නවා. හැබැයි එතැනින් එහාට අපේ අසල්වැසි ඉන්දියාවෙ තියන වෙනත් සිනමා කර්මාන්ත ගැන බහුතරේකගෙ දැනුම සෑහෙන අඩුයි. වැඩි දෙනෙක් නොදන්නව උනාට මොලිවුඩ් (මලයාලම්) සහ ටොලිවුඩ් (තෙළිඟු) සිනමාවලුත් මේ වෙද්දි සෑහෙන ඉදිරියට ඇවිත් තියනවා. ඒ වගේම බොලිවුඩය පවා පරදවන සුපිරි සිනමා නිර්මාණ ඒ සිනමාවල් ඇතුලේ බිහි වෙනව.


අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කොලිවුඩය, ටොලිවුඩය සහ මොලිවුඩය ගැන ඔබේ දැනුමට යමක් එකතු කරන්නටයි.




1. අර වුඩ්, මේ වුඩ්… කොහොමද මේ නම් හැදුනෙ?

Source – mapsofindia.com




කොලිවුඩ් – දමිල සිනමාව කේන්ද්‍ර වෙලා තියන චෙන්නායිහි “කොඩම්බක්කම්” කියන ප්‍රදේශය හින්දා තමයි කොලිවුඩ් කියන නාමය පටබැඳිල තියෙන්නෙ. දමිල සිනමාවට සම්බන්ධ ප්‍රධානම චිත්‍රපට ස්ටූඩියෝ ස්ථානගත වෙලා තියෙන්නෙ මේ ප්‍රදේශයේ තමයි.






ටොලිවුඩ් – හින්දි සිනමාව බොලිවුඩ් කියල හඳුන්වන්න පටන් ගන්නත් සෑහෙන කාලයකට කලින් තමයි ටොලිවුඩ් සිනමාව ඉන්දියාවෙදි බිහිවෙන්නෙ. හැබැයි මුලින්ම ටොලිවුඩ් නමින් හඳුන්වල තියෙන්නෙ දැන් ජනප්‍රිය තෙළිඟු සිනමාව නම් නෙමෙයි. “ටොලිගුන්ජ්” කියන ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන බිහිවෙච්ච බෙංගාලි සිනමාව තමයි මුල් කාලෙදි ටොලිවුඩ් නමින් හඳුන්වලා තියෙන්නෙ. හැබැයි මේ වෙද්දි නම් ටොලිවුඩ් කිවුවම් කවුරුත් දන්නෙ තෙළිඟු බස නිසා ටොලිවුඩ් වුණ, හයිද්‍රාබාද්, තෙලංගනා කේන්ද්‍ර කරගත්ත තෙළිඟු සිනමාව තමයි.






මොලිවුඩ් – කේරළය කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යන මේ සිනමා කර්මාන්තය මලයාලම් බසින් යුතු චිත්‍රපට තමයි නිර්මාණය කරන්නේ. මලයාලම් නම කෙටි කරල යොදාගැනීමෙන් තමයි මලයාලම් සිනමාව මොලිවුඩ් වෙලා තියෙන්නෙ.




2. මොකක්ද වඩාත්ම හොඳ?

Source – moviegalleri.net, goldmovies.org, filmilive.com




කොලිවුඩ් (Kollywood), ටොලිවුඩ් (Tollywood) සහ මොලිවුඩ් (Mollywood) සිනමාවන් අතරින් මොකක්ද වඩාත්ම හොඳ කියන එක තම තමන්ගෙ රසිකත්වය මත තීරණය වෙන එකක්. මේ සිනමා කර්මාන්ත තුන අතරින් බොහොම මෑතක් වෙනකන්ම ජනප්‍රියතාවයෙනුත්, ලාභ ඉපයීම අතිනුත් ඉදිරියෙන් හිටියෙ දමිල කොලිවුඩ් සිනමාව තමයි. හැබැයි මේ වෙද්දි කොලිවුඩය අභිබවා යන තරම් ඉදිරියට එන්නට ටොලිඩුඩ් තෙළිඟු සිනමාවට හැකිවෙලා තියනවා. ඉතාම දැවැන්ත මුදල් යොදවල කරන අන්තර්ජාතික මට්ටමේ දැවැන්ත නිර්මාණ බිහි කරන්නට ටොලිවුඩය මේ වෙද්දි සමත් වෙලා තියනවා. ඊට හොඳම උදාහරණයක් හැටියට අපිට කියන්න පුළුවන් මෑතකදි අතිශය ජනප්‍රිය වෙච්ච “බාහුබලී” චිත්‍රපට දෙක. කොලිඩුව් සිනමාව කියන්නෙ වාණිජ සහ කළාත්මක සිනමා නිර්මාණ වල මිශ්‍රණයක් හැටියට අපිට පෙන්නල දෙන්න පුලුවන්. හැබැයි ටොලිවුඩ් තෙළිඟු සිනමාව නම් මුළුමනින්ම පාහේ වාණිජ පැත්තට බරවුණ සිනමාවක්. මලයාලම්, එහෙමත් නැත්නම් මොලිවුඩ් සිනමාව මේ දෙකට වඩා වෙනස් ගමනක් යන සිනමාවක්. මේ අයගෙ අති විශාල බජට් එකක් යොදවල කරන දැවැන්ත නිර්මාණ කෙරෙන්නේ නැතිම තරම්. හැබැයි මේ අය බොහොම සාර්ථක සහ යථාර්ථයට ළඟ තිර පිටපත් සහිතව ආකර්ශනීය සිනමා නිර්මාණ බිහි කරන්න රුසියො. ඒ හින්දම ලොකු බජට් නැති වුණත් මේ අයගෙ චිත්‍රපටය හොඳහැටි ජනප්‍රිය වීමත්, ලාභ ලැබීමත් සිදු වෙනව.





3. ඒ ඒ සිනමාවෙ ආරම්භය

Source – wikipedia.org


කොලිවුඩ්


20 වැනි ශතවර්ශයේ දෙවැනි දශකයේදී විතර දමිල සිනමාවේ ආරම්භය සිද්ධ වුණා කියල සලකන්න පුළුවන්. 1918දී තිරගත කෙරුණු නිහඬ චිත්‍රපටයක් වුණ “කීචක වාදම්” චිත්‍රපටය දමිල සිනමාවේ මුල්ම චිත්‍රපටය හැටියට හඳුන්වන්න පුළුවන්. දමිල සිනමාවේ පියා හැටියට විරුදාවලිය ලත් නටරාජා මුඩ්ලියර් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. මේ චිත්‍රපටය මහාභාරත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දක්. ඒ විදිහට ඇරඹුනු දමිල සිනමා කර්මාන්තය ඇතුලේ මුල් කාලෙදි වැඩි වශයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නෙ මිත්‍යා කථා, දේව කථා, ඉතිහාස කතා ආදිය රැගත් චිත්‍රපට තමයි.
ටොලිවුඩ්


1921 දී තමයි තෙළිඟු සිනමාවේ මුල්ම නිහඬ චිත්‍රපටය බිහිවෙන්නෙ. ඒකෙ නම තමයි “භීෂ්ම ප්‍රතිඥා”. මේකත් මහාභාරත කථාව සම්බන්ධ සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටය හදපු “රඝුපති වෙන්කයියා නායිදු” තමයි තෙළිඟු සිනමාවේ පියා හැටියට සළකන්නෙ. කොලිවුඩයේ වගේම ටොලිවුඩයෙත් මුල් අවධියේ චිත්‍රපටය සියල්ලක්ම පාහේ ආගමික සහ පුරාණ කතන්දර රැගත් චිත්‍රපට තමයි.
මොලිවුඩ්


ව්‍යාපාරිකයෙක් වෙච්ච ජේ. සී. ඩැනියෙල් තමයි මලයාලම් සිනමාවේ පියා හැටියට සැලකෙන්නෙ. ජේ. සී. ඩැනියෙල් අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් විතරක් නෙමෙයි, ප්‍රධාන චරිත රංගනයෙනුත් දායක වෙලා 1928දි හදපු “විගතකුමාරන්” කියන නිහඬ චිත්‍රපටය තමයි මුල්ම මලයාලම් චිත්‍රපටය හැටියට ඉතිහාසගත වෙන්නෙ. මේ චිත්‍රපටය විශේෂ වෙන කාරණා කිහිපයක් තියනවා. ඉන් ප්‍රධානම කාරණාව තමයි ඒ කාලෙ ඉන්දීය සිනමාව ඇතුළේ දේවකථා, ඉතිහාස කථා බිහිවෙද්දි මලයාලම් සිනමාවේ පළමු චිත්‍රපටය සමකාලීන සමාජයේ සිදුවීමක් පාදක කරගෙන හදපු චිත්‍රපටයක් වීම. මේ කතාවට ශ්‍රී ලංකාවෙ නමත් ගෑවෙනව. මොකද මේ චිත්‍රපටයේදි පැහැරගැනීමකට ලක්වෙන දරුවෙක්ව ගෙනියන්නෙ ලංකාවට නිසා.




4. ජනප්‍රියත්වයට ළඟාවීම

Source – wikipedia.org


කොලිවුඩ්


දමිල සිනමාවේ මුල්ම කතානාද චිත්‍රපටය වෙන “කාලිදාස්” චිත්‍රපටය තිරගත වෙන්නේ 1931 වර්ෂයේදීයි. මෙය සුප්‍රකට කවියෙක් වුණු කාලිදාසගේ ජීවිත කතාව ඇසුරින් තනන ලද්දක්. අපි කලිනුත් කිවුවා වගේ ඉතිහාස කතා, දේවකතා ආදිය බහුලව සිනමාවට නැගුණ මුල් කාලීන කොලිවුඩ් චිත්‍රපටයක් ඇතුලේ ගීත විස්සක් තිහක්ම ඇතුළත් වෙලා තියනවා. දමිල සිනමාව වෙනස් කරපු චිත්‍රපටය හැටියට හඳුන්වන්න පුළුවන් චිත්‍රපටය තමයි එස්. එස්. වාසන් විසින් 1948දි නිර්මාණය කරපු “චන්ද්‍රලේඛා” චිත්‍රපටය. දැවැන්ත මුදලක් යොදවල නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය ඉතිහාස කතාවක් රැගත් එකක්. මේ චිත්‍රපටය ආදායම් වාර්තා තියල දකුණු ඉන්දියාවේ තිරගත වෙන්න විතරක් නෙමෙයි, උතුරු ඉන්දියාවේදි හින්දි බසින් නැවත නිර්මාණය වෙන්න තරම් ජනප්‍රිය වෙනවා. 1956 දී තිරගත වෙච්ච “අලිබබාවුම් 40 තිරුඩාගාලුම් (අලි බබා සහ හොරු 40)” තමයි දමිල සිනමාවේ මුල්ම සම්පූර්ණ වර්ණ චිත්‍රපටය හැටියට ඉතිහාසගත වෙන්නෙ.




ටොලිවුඩ්


1931 දි තිරගත කෙරුණු එච්. එම්. රෙඩ්ඩිගේ “භක්ත ප්‍රහ්ලාද” කියන ආගමික තේමාවකින් යුතු චිත්‍රපටය තමයි ටොලිවුඩයේ මුල්ම කථානාද චිත්‍රපටය හැටියට ඉතිහාසගත වෙන්නෙ. මේ චිත්‍රපටය තිරගත කල දවස වෙන සැප්තැම්බර් 15 වැනිදා තමයි තෙළිඟු සිනමා දිනය හැටියට අදටත් සමරනු ලබන්නෙ. 1934 දී තිරගත කරපු “ලවකුස” නැමැති රාමායන කථාව තමයි මුල් කාලයේ ආදායම් අතින් සාර්ථකම ටොලිවුඩ් චිත්‍රපටයක් හැටියට සලකන්නෙ. මුලදී ආගමික සහ පුරාවෘත්ත තේමා කරගෙන නිර්මාණය වුණ තෙළිඟු චිත්‍රපට වලින් යුතු ටොලිවුඩයේ 40 දශකය විතර වෙනකොට සමකාලීන සමාජ ප්‍රශ්න තේමා කරගෙනත් චිත්‍රපටත් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. 1951 වර්ෂයෙදි තිරගත කෙරුණු “මල්ලිස්වරී” සහ “පතල භෛරවී” යන චිත්‍රපට තෙළිඟු සිනමාවට ජාත්‍යන්තර අවධානය යොමු කරවන්නටත් සමත් වෙනවා. 1934 දී නිර්මාණය කරපු ලවකුස චිත්‍රපටයේ නැවත නිර්මාණයක් වුණ 1963 ලවකුස චිත්‍රපටය තමයි මුල්ම ටොලිවුඩ් වර්ණ චිත්‍රපටය හැටියට ඉතිහාසගත වෙන්නේ.




මොලිවුඩ්


මලයාලම් සිනමාවට මුල් කාලයේදී ගෙවන්න වෙන්න තරමක් අවාසනාවන්ත කාල පරිච්ඡේදයක්. ජේ. සී. ඩැනියෙල් නිර්මාණය කරපු මුල්ම මලයාලම් චිත්‍රපටය වුණ විගතකුමාරන් ආදායම් අතින් අසාර්ථක වෙනවා. ඒ වගේම ඒ චිත්‍රපටයට නිළියක් යොදාගැනීම නිසා ඒ කාලෙ සමාජයෙන් දෝෂාරෝපණත් එල්ල වෙනවා. දෙවැනි මලයාලම් චිත්‍රපටය හැටියට 1933 දී නිර්මාණය වුණ “මාර්තන්ඩ වර්මා” චිත්‍රපටයට අයිතිය සම්බන්ධ නීතිමය ප්‍රශ්න මතුවෙන නිසා එය ප්‍රදර්ශනයෙන් ඉවත් කරගන්නට සිද්ධ වෙනවා. මුල් කාලයේදී මලයාලම් චිත්‍රපටි වලට නිෂ්පාදනයෙන් දායක වෙන්නේ දමිල නිෂ්පාදකයිනුයි. මුල්ම කථානාද මලයාලම් චිත්‍රපටය වන “බාලන්” චිත්‍රපටය 1938 දී තිරගත කෙරෙනවා. මේ චිත්‍රපටය දමිල චිත්‍රපට වල ආභාෂය ලබා නිර්මාණය වුණ චිත්‍රපටයක්. ආදායම් අතින් සාර්ථක වෙන්න මේ චිත්‍රපටය සමත් වෙනවා. 1951 දී තිරගත කෙරුණු “ජීවිත නෞකා” චිත්‍රපටය තමයි මලයාලම් සිනමාවේ මුල්ම සුපර් හිට් චිත්‍රපටය හැටියට සැලකෙන්නේ. 1961දී තිරගත කෙරුණ “කාණ්ඩාම් බෙචා කොට්ටු” චිත්‍රපටය තමයි මුල්ම වර්ණ මලයාලම් චිත්‍රපටය වන්නේ.




5. ආදායම් අතින් සාර්ථකම චිත්‍රපටි

Source – pinterest.com, wikipedia.org, imdb.com


කොලිවුඩ්


කොලිවුඩයෙ බොක්ස් ඔෆිස් රජු හැටියට නම් කරන්න පුළුවන් සුපර්ස්ටාර් රජිනි කාන්ත්ව තමයි. රජිනිගෙ හැම චිත්‍රපටයක් වගේම සුපර් හිට්ස්. ඒ අතරින් එන්තිරන් (රොබොට්), සිවාජි, චන්ද්‍රමුඛී, පඩයප්පා වගේ චිත්‍රපටි ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ. ඊට අමතරව දැනට කොලිවුඩයේ ඉන්න අනික් සුපිරි තරුව වෙන කමලා හසනුත් රංගනය අතින් වගේම ආදායම් වාර්තා අතිනුත් ඉදිරියෙන්ම තියන චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වෙලා තියනවා ඉන්දියන්, දසාවතාරම් කියන්නෙ ඉන් ප්‍රධාන චිත්‍රපට දෙකක්. මීට අමතරව ගිල්ලි, තුපක්කිවගේ චිත්‍රපට වල රඟපාපු විජේත්, වේදාලම් වගේ ආදායම් අතින් සාර්ථක චිත්‍රපට වල රඟපාපු අජිත්ගේ චිත්‍රපටත් කොලිවුඩයේ ඉතාම ඉහල ජනප්‍රියත්වයන් ලබාගන්නා ඒවා තමයි.




ටොලිවුඩ්


තෙළිඟු සිනමාව ගත්තහම එස්. එස්. රාජමෞලිගේ චිත්‍රපට තමයි ආදායම් වාර්තා පිහිටුවීමට මේ වෙද්දි ඉතාම ප්‍රසිද්ධ. රාජමෞලිගෙ බාහුබලී 1 සහ2, මඝධීරා වගේ චිත්‍රපට එතෙක් මෙතෙක් ආදායම් වාර්තා පිහිටවපු ටොලිවුඩ් සිනමා නිර්මාණ අතරින් ඉදිරියෙන්ම තියනවා. මීට අමතරව චිරන්ජීවී රඟපාන, වී. වී. විනායක්ගෙ කිලාඩි 150, මහේෂ් බාබු සහ ශෘති හසන් රංගනයෙන් දායක වෙන “ස්රීමන්තුඩු” වගේ චිත්‍රපට ඉහල ආදායම් උපයන්න සමත් වෙලා තියනවා. මේ තියෙන්නෙ පහුගිය වකවානුවෙදි වැඩිම ආදායම් උපයන්න සමත්වුණ ටොලිවුඩ් සිනමා නිර්මාණ ලැයිස්තුවක්.




මොලිවුඩ්


ඉහල ආදායම් වාර්තා රැස් කරපු මොලිවුඩ් චිත්‍රපට අතරින් බහුතරයක්ම චිත්‍රපට වල ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙන්නේ මෝහන් ලාල් තමයි. අපේ ධර්ම යුද්ධය චිත්‍රපටයට පාදක කරගත්ත ද්‍රිශ්‍යම්, පුලිමුරුගන්, ඔප්පම් වගේ චිත්‍රපට ඒ අතරින් විශේෂයි. මීට අමතරව ප්‍රේමම්, Two Countries, The Great Father, Bangalore Days වැනි චිත්‍රපටත් ආදායම් අතින් ඉහල සාර්ථකත්වයක් ලබන්න සමත්වෙලා තියනවා.




6. හොඳම චිත්‍රපටි

Source – wikimedia.org, madaboutmoviez.com


කොලිවුඩ්


සුපර් ස්ටාර් රජිනි කාන්ත් ඉහල ආදායම් වාර්තා තියන චිත්‍රපට වලට ප්‍රසිද්ධයි වගේම කමලා හසන් ප්‍රසිද්ධ වෙන්නේ දමිල සිනමාවේ එතෙක් මෙතෙක් විශිෂ්ටම සිනමාපට අතරින් වැඩි ප්‍රමාණෙකට දායක වුණ තරුවක් හැටියටයි. ඔහුගේ නායගන්, ගුණා, අන්බේ සිවම්, මූන්ඩ්‍රම් පිරෛ වැනි චිත්‍රපටි අනිවා නැරඹිය යුතු චිත්‍රපටි හැටියට අපි රෙකමදාරු කරන්න කැමතියි. ඒ වගේම තමයි විශිෂ්ට අධ්‍යක්ෂක මනි රත්නම්ගේ චිත්‍රපට. ත්‍යාගරාජන් කුමාරරාජා වගේ නව පරපුරේ අධ්‍යක්ෂකවරුත් මේ වෙද්දි දමිල සිනමාවට වෙනසක් ගේන නිර්මාණ කරමින් ඉන්නවා.




ටොලිවුඩ්


දමිල සහ මලයාලම් සිනමාවට සාපේක්ෂව තෙළිඟු ටොලිවුඩ් සිනමාව ඇතුළේ සාර්ථක තිර රචනා අඩුයි කියලයි අපිට හිතෙන්නේ. ඔවුන්ගේ මුල් තැන හිමිවෙන්නේ වාණිජමය අතින් සාර්ථකත්වයක් ලබන්න පුලුවන් වෙනත් අමුද්‍රව්‍ය කෙරෙහියි. ඒ නිසා සිනමා කෘතියක් හැටියට හොඳම තෙළිඟු චිත්‍රපට හැටියට වැඩි හරියක් අපිට දක්වන්න වෙන්නෙ පැරණි චිත්‍රපටයි. මෑත කාලීන චිත්‍රපට අතරින් පොකිරි, ගම්‍යම්, අර්ජුන් රෙඩ්ඩි, දෘවා වගේ චිත්‍රපට නම් කරන්න පුළුවන්.




මොලිවුඩ්


ටොලිවුඩ් සහ කොලිවුඩ් සිනමාවට සාපේක්ෂව මොලිවුඩ් සිනමාවේ සාර්ථක කථා වස්තු මූලික කරගෙන හැදෙන අන්තර්ගතය අතින් ඉහල චිත්‍රපට වැඩිපුර දකින්න ලැබෙනවා. ප්‍රේමම්, Bangalore Days, මනිචිත්‍රතාසු, ඔරු වඩක්කන් වීරගතා, Traffic, ද්‍රිශ්‍යම්, 1983 වගේ චිත්‍රපට අපිට ඉහලින්ම රෙකමදාරු කරන්න පුළුවන්. මීට අමතරව සොඳුරු මලයාලම් සිනමාව හා අසිරිමත් කේරළය ෆේස්බුක් සමූහයට එකතු වුණොත් අලුත් පැරණි මලයාලම් චිත්‍රපට රැසක් ගැන තොරතුරු දැනගන්නටත්, ලංකාව පුරා විසිරී පැතිරී සිටින මලයාලම් චිත්‍රපට ලෝලීන් හා හරවත් සංවාද ගොඩනගා ගන්නටත් ඔබට හැකියාව ලැබෙයි.




7. සිනමා තරු සහ දැවැන්තයෝ

Source – wikipedia.org, bfi.org.uk, onlookersmedia.in


කොලිවුඩ්


කොලිවුඩ් සිනමා නළු නිළියන් ගැන කතා කරද්දි අපේ මතකයට මුලින්ම නැගෙන නම් දෙක තමයි රජිනි කාන්ත් සහ කමලා හසන්. ඒ වගේම සිහියට එන තවත් දෙදෙනෙක් තමයි එම්. ජී. රාමචන්ද්‍රන් සහ සිවාජී ගනේෂන් කියන අතීත දමිල සිනමාවේ බලකණු දෙක. ජෙමිනි ගනේෂන්, නාගේෂ්, වගේ පැරැණ්නෝ වගේම අජිත්, විජේ, මාධවන්, වික්‍රම්, සූර්යා, ධනුෂ් වගේ පසු කාලීන නළුවන්ගේ නමුත් මෙතැනදී සඳහන් කරන්න ඕනෙ. නිළියන් ගැන කියද්දි ශ්‍රීදේවි, රේවතී, සාවිත්‍රි, කුෂ්බූ, නග්මා, මධූ, මීනා, ජෝතිකා, සිම්රන්, ට්‍රිෂා, අසින්, ටමන්නා වගේ නම් සඳහන් කරන්න පුළුවන්.


සිනමා අධ්‍යක්ෂකවරු ගැන කියද්දි මනි රත්නම්, කේ. බාලචන්දර්, බාලු මහේන්ද්‍ර, ගෞතම් මෙනොන්, එස්. ශංකර් වගේ නම් අපිට අමතක කරන්න බැහැ. ඒ වගේම ඒ. ආර්. රහ්මන් සහ ඉලෙයරාජා වැනි ශූර සංගීතඥයින්ගෙන් ලැබුණු ආලෝකයත් දමිල සිනමාව ගැන කතා කරද්දි නොකියම බැහැ.




ටොලිවුඩ්


අතීතයේ පටන් තෙළිඟු සිනමාවට කැපී පෙනෙන මෙහෙවරක් කරපු නළුවන් හැටියට එන්.ටී. රාමා රාඕ, එස්. වී. රන්ග රාඕ, චිරන්ජීවි, බාලක්‍රිෂ්ණා, නාගාර්ජුනා, පවන් කල්‍යාණ්, මහේෂ් බාබු, රාමා රාඕ ජුනියර් යන අයවත්, නිළියන් හැටියට සාවිත්‍රී, අංජලී දේවී, භානුමතී, ජයප්‍රදා, ශ්‍රී දේවි, අනුෂ්කා ෂෙට්ටි, කාජල් අග්ගර්වාල්, සමන්තා, ඉලේනා ඩි කෘස් වැනි නිළියන්වත් නම් කරන්න පුළුවන්. කැපී පෙනෙන අධ්‍යක්ෂකවරුන් හැටියට කාසිනාතුනි විශ්වනාත්, එස්. එස්. රාජමෞලි, ක්‍රිෂ් ව නම් කරන්න පුළුවන්. ඉලයරාජා සහ ඒ. ආර් රහ්මන් වැනි සංගීත අධ්‍යක්ෂකවරුන් ටොලිවුඩ් සිනමාවෙත් වැඩ පෙන්නලා තියනවා. ටොලිවුඩ් සිනමා සංගීතය ගැන කතා කරද්දි එස්. පී. බාලසුබ්‍රමනියම් සහ දේවි ශ්‍රී ප්‍රසාද් යන සංගීතඥයින්වත් අමතක කරල බැහැ.




මොලිවුඩ්


මොලිවුඩ් සිනමාව ගැන කතා කරද්දි නිතැතින්ම මතකයට එන නළු නිළියන් පිරිසක් ඉන්නවා. මම්මූට්ටි, මෝහන්ලාල්, සුරේෂ් ගෝපි, දුල්කර්, නිවින්, ඉන්ද්‍රජිත් වැනි නළුවනුත් ලක්ෂ්මී, මංජු වොරියර්, මීරා ජැස්මින්, නයනතාරා, පාර්වතී, මම්තා මෝහන්දාස් වැනි නිළියනුත් විශේෂයි. කේ. එස්. සේතුමාධවන්, රන්ජිත් බාලක්‍රිෂ්නන්, පී. පද්මරාජන්, අදූර් ගෝපාලක්‍රිෂ්ණන්, ජීතු ජෝසප්, අල්පොන්ස් පුත්‍රන්, දිලීෂ් වැනි අධ්‍යක්ෂකවරුන්ද, ජී. දේවරාජන්, ශාම් වැනි සංගීත අධ්‍යක්ෂකවරුන්ගෙන්ද මොලිවුඩ් සිනමාවට ලැබුණු දායකත්වය විශේෂයි.
Read more

සැබෑ චරිත සහ සිදුවීම් පාදක කොටගෙන හැදුණ සිංහල චිත්‍රපටි

හොලිවුඩ්, බොලිවුඩ් සිනමාපට නරඹන කෙනෙක්ටනම් සැබෑ සිදුවීම් සහ චරිත පාදක කොටගෙන හදල තියන චිත්‍රපට අමුත්තක් නෙමෙයි. මේ සමහරක් සැබෑ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරන ලද චිත්‍රපට ප්‍රබන්ධ වලටත් වඩා රසවත් සහ විශ්මය ජනකයි. සැබෑ චරිත ඇසුරින් තනන ලද චිත්‍රපට වල ඉන්න වීරයෝ ප්‍රබන්ධ චිත්‍රපට කතා වල ඇක්ෂන් හීරෝස්ලටත් වඩා අධිෂ්ඨානශීලීයි, නිර්භීතයි. ඉන්ස්පිරේෂනල් චරිත උනත් ඇඟේ මයිල් කෙලින් වෙලා අමෙරිකානු, ඉන්දීය ජාතික අභිමානෙන් අපිවත් ඔද වඩවන තරම් විශිෂ්ටයි…
හොලිවුඩ් බොලිවුඩ් පැත්තකින් තියල අපේ ලාංකීය සිනමාව දිහාට හැරිල බැලුවොත් අපේ සිනමාව ඇතුලෙත් සැබෑ චරිත සහ සිදුවීම් පසුබිම් කරගෙන හැදිච්ච චිත්‍රපට කීපයක්ම අපිට සොයාගන්න පුලුවන්. ඒවා අතරේ විශිෂ්ට නිර්මාණත් තියනවා. ඒ වගේම සැබෑ චරිත සහ සිදුවීම් වලට සාධාරණයක් ඉටු නොවුණිදැයි සැක හිතෙන නිර්මාණත් තියනවා.
මේ කියන්න යන්නේ ඒ විදිහෙ සැබෑ සිදුවීම් සහ චරිත පදනම් කරගෙන නිර්මාණය කල සිංහල චිත්‍රපට 8ක් ගැනයි.

1. මචන්


Source – bbc.co.uk, youtube.com/ZFF – Uberto Pasolini, anangaya.com

උබර්තෝ පැසොලීනි කියන ඉතාලි ජාතික අධ්‍යක්ෂවරයා 2008 දි හදනවා සිංහල චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ නම වෙන්නේ ශ්‍රී ලාංකික අපිට වඩාත්ම හුරුපුරුදු සහ සමීප වචනයක් වෙන “මචන්”. ඒ සමීප බව චිත්‍රපටයේ නමට විතරක් සීමා වෙන්නෙ නෑ. චිත්‍රපටයේ කතා වස්තුව ඇතුලෙත් අපිට ලාංකික අපේ ජීවිත වල හුරුපුරුදු දේවල් දැනෙන විදිහට සමීප කරවන්න මචන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සමත් වෙනවා.
කරුණු කාරණා සිදුවෙච්ච ආකාරයෙන්ම පෙළගස්වල තියනවය කියල කියන්න බැරි උනත්, මචන් චිත්‍රපටයට පාදක කරගන්නෙ ඊට අවුරුදු කීපෙකට කලින් සිදුවෙච්ච සැබෑම සිදුවීමක්. ඒ තමයි හෑන්ඩ්බෝල් තරඟාවලියක් සඳහා ජර්මනියට යන 23 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික කණ්ඩායමක් ඒ රටින් අතුරුදන් වීම. මේ ප්‍රවෘත්තිය ඒ කාලෙ විදෙස් මාධ්‍ය වල පවා ප්‍රචාරය උනේ අපේ රටට යම් අපකීර්තියකුත් ගෙන දෙමින්. සැබෑ සිදුවීම කොහොම වෙතත් චිත්‍රපටය බලන අපට නම් ඒකෙ මචන්ලා සෙට් එක ගැන තරහකට වඩා ඇතිවුණේ සතුටක්. පැසොලීන් මචන් වලට කවපු හාස්‍යමය රසය සහ ඒකෙ මචන්ලාගෙ ජීවිත ඇතුලුට කරපු එබී බැලිල්ල නිසා වෙන්න පුලුවන් මචන් බලලා අපිට ඒ සිදුවීම ගැන සන්තෝසෙකින් හිතන්න අවකාශය ලැබුනෙ.

2. දඩයම


Source – peotv.com, alchetron.com

ඇඩ්ලින් විතාරණ ඝාතනය කියන්නෙ 1950 ගණන් වල අගභාගයේදි මුලු ලංකාවම හොල්ලන්න සමත් වෙච්ච මිනීමැරුමක්. මේ මිනීමැරුම ගැන සවිස්තරාත්මකව ලිපියකුත්අනිවා අපි ගෙන ආවා ඔබට මතක ඇති. 1983 අවුරුද්දෙදි වසන්ත ඔබේසේකරයන් මේ සිදුවීම් අලලා චිත්‍රපටයක් නිර්මාණය කරනව. ඒකෙ නම තමයි “දඩයම”. ස්වර්ණා මල්ලවආරච්චි සහ රවීන්ද්‍ර රන්දෙනිය තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කලේ. ඇඩ්ලින් විතාරණ ඝාතනයට හේතු වෙච්ච සිදුවීම් එකින් එක පෙළගස්වමින් තමයි මේ චිත්‍රපටයේ කතාව දිගඇරෙන්නෙ. ඉතාම සාර්ථක චිත්‍රපටයක් වුණ මේ චිත්‍රපටය ඒ වසරේ ජනාධිපති සම්මාන උළෙලෙදි හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 9කින් පිදුම් ලබන්නටත් සමත් වෙනවා. සිංහල සිනමාවේ හොඳම දුෂ්ට චරිත රංගනයක් හැටියටත් දඩයම චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙනියගේ රංගනය හඳුන්වන්න පුලුවන්.

3. මරුවා සමග වාසේ/සිරිපාල සහ රන්මැණිකා


Source – nfc.gov.lk, dailynews.lk, sundayobserver.lk

මරු සිරා කියන්නේ කාලයක් ලංකාවම හොල්ලපු, කා අතරත් කතාබහට ලක්වුණ චරිතයක්. සමාජය විසින් අපරාධ ලෝකයට ඇද දාන සිරිපාලට අවසානයේදී උරුම වෙන්නෙ එල්ලුම් ගහ. එල්ලුම් ගස් යන්න නියම වෙලා හිටපු සිරිපාල හෙවත් මරු සිරාගේ මරණය සිද්ධ වෙන්නෙත් ඉතාම අභිරහස් අන්දමටයි. අපි මරු සිරා ගැන ලියපු ලිපියකිනුත්ඒ ගැන තොරතුරු ගෙන ආවා.
1977 අවුරුද්දෙදි මරු සිරා හෙවත් ඩෙඩ්ඩුව ජයතුංගලාගේ සිරිපාලගේ චරිතය ඇසුරු කරගෙන චිත්‍රපට දෙකක්ම බිහි වෙනවා. ඒ තමයි ටයිටස් තොටවත්තයන්ගේ “මරුවා සමග වාසේ” සහ අමරනාත් ජයතිලකයන්ගේ “සිරිපාල සහ රන්මැණිකා”. මරුවා සමග වාසේ චිත්‍රපටයේ විජය කුමාරතුංගත්, සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙනියත් මරු සිරා චරිතයට පණ පොවනවා. මේ චිත්‍රපට දෙකම එක සේ ජනප්‍රිය වෙන්නටත් සමත් වෙනවා.

4. යකඩයා


Source – sarasaviya.lk, vodtv.vhx.tv, divaina.com

ශ්‍රී ලංකන් අයන් මෑන් හෙවත් මරදන්කඩවල යකඩයාගෙ ජීවිත කතාව සම්බන්ධ රසබර සහ අද්භූත තොරතුරු බොහොමයි. සමහරු කියනවා ඔහු අවුරුදු සීයකටත් වඩා වයස් ගත වෙනකම් ජීවත් වුණාය කියලා. සවිමත් යකඩ ආයාසයකින් තොරව නවන්න තරම් විශාල ශක්තිවන්තයෙක් කියලත් කියනවා. දෙවැනි ලෝක යුද්ධ කාලෙදි අපේ රටට ගෙන්වා තිබුණු කාපිරි සෙබලුන් අතින් යකඩයාගේ පෙම්වතිය දූෂණය කොට මරා දැමෙනවා. යකඩයා අපරාධ ක්‍රියාවන්ට යොමු වෙන්න හේතුවුණෙත් ඒ සිදුවීම කියලා මත පලවෙනවා. සාංචි ආරච්චිගේ ජිනදාස හෙවත් යකඩයා කාපිරි සෙබලුන්ව මරා දමමින් තමන්ගෙ පළිගැනීම ක්‍රියාත්මක කල හැටි ගැනත් නොයෙකුත් කතා තියනවා. සමහරුන්ට අනුව මරදන්කඩවල යකඩයා වීර චරිතයක්. තවත් සමහරුන්ට ඔහු අපරාධකාරයෙක්.
1977 අවුරුද්දෙදි මේ සුවිශේෂී චරිතය පාදක කරගෙන චිත්‍රපටයක් හැදෙනවා. ඒකෙ නම තමයි “යකඩයා”. මේ චිත්‍රපටයේ යකඩයාගෙ චරිතයට පණ දෙන්නෙ අසහාය නළු ගාමිණී ෆොන්සේකා විසිනුයි. මහා නලු ගාමිණී ෆොන්සේකා විසින් රඟදැක්වුවා වුණත් යකඩයා චිත්‍රපටයෙන් නිරූපණය වෙච්ච තමන්ගේ චරිතය ගැන නම් සැබෑ යකඩයා අප්‍රසාදයකින් හිටියා කියලයි කරුණු වාර්තා වුණේ. මස් මාලු නොකන, මත්පැන් නොබොන පුද්ගලයෙක් වෙන යකඩයාව මස් මාලු කන, මත් පැන් බොන චරිතයක් හැටියට චිත්‍රපටයට නගා තිබීමත්, තමන් කවදාවත් සිදු නොකරපු බන්ධනාගාරයෙන් පළා යාමේ සිදුවීමක් චිත්‍රපටයට ඇතුළත් කර තිබීමත් ඒ අප්‍රසාදයට හේතුවයි.

5. පොඩි විජේ


Source – dinamina.lk, sandunsevana.blogspot.com

“පොලොන්නරුවෙ පොඩි විජේ
වෙඩි නොවදින පොඩි විජේ”
ඇන්ටන් ජෝන්ස් මහත්මය ගායනා කරපු මේ ගීතය ජීවිතේ එක පාරක් හරි ඔබට ඇහිල ඇති. පොලොන්නරුව හොල්ලාගෙන හිටපු, ලංකාවෙම කතාබහට ලක්වුණ පොඩි විජේ චරිතය ගීතයට විතරක් නෙමෙයි සිනමාවටත් නැගිල තියනවා. 1987 අවුරුද්දෙදි නිශාන්ත ද අල්විස්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවුණ පොඩි විජේ චිත්‍රපටයේ පොඩි විජේගේ චරිතය නිරූපණය කලේ අමරසිරි කළංසූරිය විසින්. අමරසිරි කළංසූරියගේ දක්ෂ රංගනයෙන් හැඩවුණ මේ චිත්‍රපටය සබීතා පෙරේරාට හොඳම නිලි සම්මානයද ලබා දෙන්නට සමත් වුණා. හැබැයි ඒ කොහොම වෙතත් පොඩි විජේ චිත්‍රපටය මගින් සැබෑ පොඩි විජේට අසාධාරණයක් වුණා කියලයි ඔහුගේ පවුලේ උදවිය ප්‍රකාශ කරල තියෙන්නේ. තමන්ගෙ පවුල රැකගන්න දිවා රෑ වෙහෙස මහන්සි වෙච්ච පොඩි විජේ දාමරික කම් වලට පෙළඹෙන්නේ ඔහුට විඳින්නට සිද්ධ වුණු නොයෙකුත් අසාධාරණකම් නිසා කියල මතයකුත් තියනවා. ඒ වගේම පොඩි විජේගේ නම යොදාගෙන වෙනත් අය විසින් සිදුකරපු කොල්ලකෑම් නිසාත් පොඩි විජේගේ නම අපරාධකාරයෙක් හැටියට ඉස්මතු වෙන්නට බලපෑවාය කියලා ඔහුගේ හිතවත්තු කියනවා. මේ කතාවල ඇත්ත නැත්ත කොහොම වුණත් අවසානයේදී පොඩි විජේට පොලිස් වෙඩි පහරවලින් මරණයට පත්වන්නට සිද්ධ වෙනවා. ඒ 1956 වර්ෂයේදි.

6. හාර ලක්ෂය


Source – plesmiko.blogspot.com

1971 අවුරුද්දේ තිරගත වෙච්ච හාරලක්ෂය චිත්‍රපටය ටයිටස් තොටවත්ත මහතා විසින් අධ්‍යක්ෂණය කරපු විශිෂ්ටතම චිත්‍රපටයක්. ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සෝමසිරි දෙහිපිටිය මෙහි චරිත නිරූපණයෙන් දායක වෙනව. හාර ලක්ෂය කියන්නේ සිංහල සිනමාවෙන් බිහිවුණ අපරාධ වර්ගීකරණයේ චිත්‍රපට අතරින් ඉහලින්ම තියන්න පුලුවන් එකක්. ඒ වගේම මේ චිත්‍රපටයට පාදක කරගත්ත හාර ලක්ෂයේ මංකොල්ලය සම්බන්ධ තොරතුරු ඉතාම නිවැරදි ආකාරයෙන් ගෙන එන්නටත් ටයිටස් තොටවත්තයන් උත්සාහ කරනවා. ඒ සඳහා ඔහු සැබෑ හාරලක්ෂේ මංකොල්ලයට යොදාගත්ත සමහර බඩු භාණ්ඩත් තමන්ගේ චිත්‍රපටයේදි භාවිතා කරනවා. ටර්ෆ් ක්ලබ් මංකොල්ලය නමිනුත් ප්‍රසිද්ධ වුණ මේ හාර ලක්ෂේ මංකොල්ලය ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ ඉහලින්ම සඳහන් වන දක්ෂ සැලසුම් සහගත මංකොල්ලයක් වනවා. ජෝන් ද සිල්වා නම් අහිංසකයෙකුගේ ජීවිතයද බිලිගත් මේ මංකොල්ලය සම්බන්ධ වැඩිදුර තොරතුරු අපේ මේ අනිවා ලිපියෙන් ඔබට කියවන්නට පුලුවන්.

7. උසාවිය නිහඬයි


Source – nfc.gov.lk, lankatruth.com

2015 වර්ෂයේදි ප්‍රසන්න විතානගේ මහතාගේ අධ්‍යක්ෂණයෙන් යුතුව තිරගත කරන්නට සැරසුණු උසාවිය නිහඬයි වාර්තාමය චිත්‍රපටය විශාල ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වෙනවා. ඒ හිටපු මහේස්ත්‍රාත්වරයෙක් විසින් ගොනු කර තිබූ පෙත්සමකට අනුව කොළඹ දිසා අධිකරණ විසින් එය වාරණය කිරීමත් සමගයි. තමන්ගේ ජීවිතය සම්බන්ධ අසත්‍ය තොරතුරු චිත්‍රපටය මගින් ගෙනහැර පානවාය කියමින් තමයි මහේස්ත්‍රාත්වරයා චිත්‍රපටයේ ප්‍රදර්ශනයට විරෝධතාවය ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් මේ වාරණය වැඩි කල් රඳා පවතින්නේ නැහැ. 2016 ඔක්තෝම්බර් මාසයේ පටන් මේ චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය කිරීමට අවසරය ලැබෙනවා. වාරණය නිසාවෙන් චිත්‍රපටයට ලැබුණු වැඩි අවධානය මේ චිත්‍රපටය තිරගත කිරීමේදී වාසියකට හැරුණාය කියලත් කියන්නට පුළුවන්.

8. සිසිල ගිනි ගනී


Source – vodtv.vhx.tv

අපි කලින් සඳහන් කරපු උසාවිය නිහඬයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ප්‍රසන්න විතානගේගේ කුළුඳුල් සිනමා නිර්මාණය තමයි සිසිල ගිනි ගනී චිත්‍රපටය. මේ චිත්‍රපටයට සනත් ගුණතිලක, සබීතා පෙරේරා සහ වීනා ජයකොඩි ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වුණා. මෙහි තිර රචනයත් සනත් ගුණතිලකගේයි. සිසිල ගිනි ගනී චිත්‍රපටයත් සැබෑ සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක් හැටියටයි සරසවිය පුවත් පතේ සඳහන් වෙන්නේ. 60 දශකයේදී ලංකාවම කැළඹූ මිනීමැරුමක් සහ සුවිශේෂී නඩු විභාගයක් වුණ ගෝඨාභය කිරඹකන්ද දරුවාගේ මරණය සම්බන්ධ කතාව පාදක කොටගෙන මේ චිත්‍රපටය නිර්මාණය කර ඇති බවකුයි දැනගන්නට ලැබෙන්නේ. 1992 වසරේදී ඉහලම ජනප්‍රියත්වයක් ලබන්නටත් සිසිල ගිනි ගනී චිත්‍රපටය සමත්වෙලා තිබෙනවා.
Read more