සින්දු වලට ආදරේ කරනවා නම් මේ සයිට්ස් ගැන දැනගන්න ඕනේ

සිංහල සින්දු වලට ආසා නැත්තේ කවුද? අපි ඉංග්‍රීසි, හින්දි වගේ මොන සින්දු ඇහුවත් අපේ හිතට වැඩිපුරම වදින්නෙ, අපේ හැඟීම් වලට කතා කරන්නෙ හොඳ සිංහල සින්දුවක්ම තමයි. වර්තමානයේ ගොඩක් අපේ සිංහල සින්දු රසිකයෝ, ගායකයින්ගේ ගීත සහිත කැසට්, සීඩී මිලදී ගන්නවට වඩා ආසයි තමන්ගේ ෆෝන් එකට එහෙම නැතිනම් පරිගණකයට කොපි කරගෙන ඒ හරහා සවන් දෙන්න.
ඉතින් අපි හිතුවා මෙහෙම කැමැත්තක් තියෙන අයට සිංහල සින්දු වල mp3 , Video විතරක් නෙවෙයි ගීපද මාලා වුනත් බොහොම පහසුවෙන් හොයාගන්නට පුළුවන් ලංකාවේ වැඩි දෙනෙක් යන එන වෙබ්, යූටියුබ්, බ්ලොග් සහ ෆේස්බුක් පිටු කිහිපයක් ගැන කියන්න.

වෙබ් අඩවි


1. අනංමනං
ලබා ගත හැකි දේ : Audio / Video / Lyrics
Best Sites for Sinhala Music
Source – ananmanan.lk
අනංමනං කියන්නේ අපේ සින්දු ලෝලීන් අතර වැඩිපුරම ජනප්‍රිය වෙබ් අඩවි වලින් එකක් කිව්වොත් හරි. ඔයාට අවශ්‍ය වෙන බොහෝ සිංහල සින්දු මේ වෙබ් අඩවිය තුල ඕඩියෝ වීඩියෝ සහ ගීපද විදියට ලබාගන්නට පහසුකම් සලසලා තියෙනවා. ඔවුන් සතුව නැති එහෙත් ඔබට අවශ්‍ය සින්දුවක් තිබෙනවා නම් ඒ සින්දුවක් වුනත් ඔවුන්ගෙන් ඉල්ලුම් කරන්නට ඔවුන් පහසුකම් සලසා තිබෙනවා.

2. මියුසික් ඩොට් එල්කේ
ලබා ගත හැකි දේ:  Audio / Video / YouTube
Best Sites for Sinhala Music
Source – music.lk
මෑත කාලයේදී වෙබ් අඩවියක සිට රූපවාහිනි චැනලයක් දක්වා පැතිරුණු වෙබ් අඩවියක් පවතිනවා නම් ඒ මියුසික් ඩොට් එල් කේ පමණයි. ගෝල්සෝන් ආයතනය යටතේ ක්‍රියාත්මක වෙන මේ වෙබ් අඩවිය තුලින් ඔබට පහසුවෙන්ම ජනප්‍රිය සින්දු වල ඕඩියෝ සහ වීඩියෝ භාගත කරගන්නට ඉඩ හසර ලබාදී තිබෙනවා.
එයට අමතරව ඔවුන්ගේ යුටියුබ් චැනලය තුලින් ඔවුන් වෙබ් අඩවියට ඇතුලත් කරන සියලුම වීඩියෝ ගීත භාගත කිරීමකින් තොරව බලන්නට හැකියාව තිබෙනවා.

3. හිරු එෆ් එම්
ලබා ගත හැකි දේ :  Audio / Video  / YouTube
Best Sites for Sinhala Music
Source – hirufm.lk
ABC මාධ්‍ය ජාලයට අයිති හිරු රේඩියෝ නාලිකාවේ වෙබ් අඩවිය තමා මේ. ගොසිප් සහ වැඩසටහන් වල පොඩ්කාස්ට් වලට අමතරව ඔවුන්ගේ වෙබ් අඩවිය වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තිබෙන්නේ ඕඩියෝ ගීත සහ වීඩියෝ ගීත භාගත කරගන්නට ඉඩ දීමෙන්. ඔබ කොහේ හරි යනවිට වාහනයක ඇසෙනා ගීතයක් අතර මැද්දෙන් හිරු එෆ්එම් කියන ජින්ගල් හඬ ඇසුනොත් ඒ ගීතය අනිවා අරගෙන තිබෙන්නේ හිරු වෙබ් අඩවියෙන් තමයි. ඒ වගේම ඔවුන්ටත් ඔවුන් වෙබ් අඩවියට ඇතුලත් කරන ගීත පල කරන යුටියුබ් චැනලයක් තිබෙනවා.

4. එෆ් එම් දෙරණ
ලබා ගත හැකි දේ : Audio / Video / YouTube (etunes)
Best Sites for Sinhala Music
Source – fmderana.lk
එෆ් එම් දෙරණ වෙබ් අඩවියේ ඕඩියෝ සහ වීඩියෝ ගීත ඉස්සරම භාගත කරගන්නට දුන්නේ etunes නමැති වෙබ් අඩවියක් හරහා තමයි. නමුත් පසුව නම් දෙකකින් තිබුණු ආයතන දෙක එක නමක් යටතට ගන්නට එෆ්එම් දෙරණ කටයුතු කළා. නමුත් ඔවුන්ගේ යුටියුබ් පිටුව තවමත් පවතින්නේ etunes නමින්ම තමයි.

5. සිංහල සින්දු ඩොට් එල්කේ
ලබා ගත හැකි දේ:  Audio / Video
Best Sites for Sinhala Music
Source – sinhalasindu.lk
මේ වෙබ් අඩවිය හරිම ලස්සන ඇසට ප්‍රිය වෙබ් අඩවියක් විදියට හැඳින්වූවාට කිසිම වරදක් නම් නැහැ. නමුත් එක විශේෂත්වයකට තිබෙන්නේ ඔවුන්  අවසරය දෙන්නේ ඕඩියෝ ගීත භාගත කරන්නට විතරයි. වීඩියෝ ගීත ඔන්ලයින් නැරඹීම සඳහා පමණයි ඉඩ ලබා දෙන්නේ.

6. සරිගම ඩොට් එල්කේ
ලබා ගත හැකි දේ:  Audio / Video
Best Sites for Sinhala Music
Source – sarigama.lk
සරිගම වෙබ් අඩවිය තුලින් ඔබට අවශ්‍ය ගීතය බොහොම පහසුවෙන් භාගත කරගන්නට ඉඩ දෙනවා. එමෙන්ම වීඩියෝ ගීතයක් ඔබ එය නරඹන උපාංගය අනුව තෝරා භාගත කරගන්නට ඉඩ හසර ඔවුන් සපයනවා.

7. ෂා එෆ් එම්
ලබා ගත හැකි දේ :  Audio (Remixes)
Best Sites for Sinhala Music
Source – shaafm.lk
මේක ටිකක් වෙනස් වෙබ් අඩවියක්. අනෙකුත් වෙබ් අඩවි වල ඔරිජිනල් ගීත ඕඩියෝ සහ වීඩියෝ ලෙස භාගත කරගන්නට ඉඩ දුන්නත් මේ වෙබ් අඩවියේ භාගත කරන්නට ඇත්තේ සිංහල ගීත වල රීමික්ස් කල ගී පමණයි. මෙයත් ABC මාධ්‍ය ජාලයට ම අයිති රේඩියෝ නාලිකාවක වෙබ් අඩවියක් බව කිවයුතු වෙනවා.

8. එස් එල් එම්පී3
ලබා ගත හැකි දේ:  Audio
Best Sites for Sinhala Music
Source – slmp3.com
මෙය එක්තරා ආකාරයක ගීත ඩිරෙක්ටරියක් කියලා කිව්වොත් නිවැරදියි. ඔබට තිබෙන්නේ ඔබ කැමති ගායකයාගේ නම තෝරලා එය ක්ලික් කිරීම පමණයි. ඔබ තෝරපු ගායන ශිල්පියා කියපු ගීත සියල්ලම ඔබට පහසුවෙන් අසන්නට භාගත කරගන්නට හැකියාව තිබෙනවා.

යූ ටියුබ් ගී පිටු


1. Evoke International
Best Sites for Sinhala Music
Source – youtube.com/user/evokelk
සුප්‍රසිද්ධ ගීත සහ වීඩියෝ නිර්මාණ කටයුතු කරන සමාගමක් වන Evoke ආයතනය තමයි මේ යූටියුබ් චැනලය පවත්වාගෙන යන්නේ. ඔවුන් නිෂ්පාදනය කරනු ලබන ගීත සහ ලංකාවේ ගීත ඉතිහාසයේ ජනප්‍රියතම ගීත එකතුවක් හැටියට අසන්නන්ට ලබාදෙන්නටයි මේ යුටියුබ් නාලිකාව නිර්මාණය කර තිබෙන්නේ.

2. Sri Lanka got talent
Best Sites for Sinhala Music
Source – youtube.com
ඔබේ කැමැත්ත තිබෙන්නේ Unplugged හෝ Acoustic ගීත සඳහා නම් මේ නාලිකාව ඔබට වැදගත් වේවි. තවමත් ගීත එකතු වෙමින් පවතින මේ නාලිකාවේ ගීත සියල්ලම පාහේ බොහොම සුන්දර ගීත වෙනවා.

3. ප්‍රේමකීර්ති ගී
Best Sites for Sinhala Music
Source – youtube.com
අභාවප්‍රාප්ත ප්‍රවීණ නිවේදක සහ අසහාය ගීත රචකයෙක් වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් නිර්මාණය කරන ලද ගී පද මාලා වල එකතුවක් ලෙසයි ප්‍රේමකීර්ති ගී යුටියුබ් නාලිකාව පවතින්නේ. ප්‍රේමකීර්ති මහතාගේ බොහොම සුන්දර වගේම දුර්ලභ ගීතත් මෙයින් ඔබට අසන්නට පුළුවන්කම ලැබෙනවා.

4. හෝපලු වනපෙත – කේ.ඩී.කේ. ධර්මවර්ධන
Best Sites for Sinhala Music
Source – youtube.com
කේ.ඩී.කේ ධර්මවර්ධන මහතා විසින් රචනා කල ගී පද මාලා වලින් තැනුණු ගීත තමයි මේ යුටියුබ් චැනලයේ අන්තර්ගත වෙන්නේ. අලුත් ගීත නොවුනත්, මේ සුන්දර පදමාලා සහිත ගීත ආපහු ආපහු රසවිඳින්නට සිතෙන ආකාරයේ ගීත බව අනිවා අපේ මතයයි.

ගී පද මාලා


1. ගී පැදුර බ්ලොග් අඩවිය
Best Sites for Sinhala Music
Source – geepadura.blogspot.com
වර්තමානයේ ගීත පදමාලා වැඩිම ප්‍රමාණයක් එකතු කර ඇති බ්ලොග් අඩවිය කියල හඳුන්වා දෙන්න පුළුවන් ගී පැදුර බ්ලොග් එක. අනික අපිට බොහොම පහසුවෙන් සාදයකදී වුනත් ගීතයක් මුමුණන්නට උවමනා වූ විට පහසුවෙන්ම ගීතය සොයාගන්නට මේ බ්ලොග් පිටුවෙන් පුළුවන්. එයට හේතුව මේ බ්ලොග් පිටුව ජංගම දුරකථන තීරයකට අනුකූලව සැකසෙන ආකාරයට තනා ඇති නිසා.

2. ගී පද ඩොට් කොම්
Best Sites for Sinhala Music
Source – geepada.com
මේ වෙබ් අඩවියත් බොහොම පහසුවෙන් ගීත පදමාලා සොයාගන්නට හැකි වෙබ් අඩවියක් වෙනවා. මෙහි බොහෝ ගීත පදමාලා තිබෙන්නේ ලස්සන පින්තුර සමඟ නිසා ඔබට කැමති විදියට සමාජ ජාල වල බෙදා හදා ගන්න හැකියාව තිබෙනවා.

ගී පද මාලා ෆේස්බුක් පිටු


1. වික්ටර් රත්නායක ගීත එකතුව
Best Sites for Sinhala Music
Source – facebook.com
මේ පිටුව වෙන් වෙලා තියෙන්නේ අපේ ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන් විසින් ගායනා කරන්නට යෙදුනු ගීත එකතුවක් අප වෙත තිලිණ කරන්නටයි. මෙහි සාමාජිකයින් පවසන අන්දමට මේ ෆේස්බුක් පිටුවේ රත්නායක මහතාගේ සියලු ගීත තිබෙන බව පැවසෙනවා.

2. සිංහල ගී පද
Best Sites for Sinhala Music
Source – facebook.com/sinhalalyrics
විවිධ ගීත වල පද මාලා බොහොමයක් තිබෙන මේ ෆේස්බුක් පිටුවත් අපේ සිංහල ගීත රසිකයින් අතර ජනප්‍රිය බව කියන්න උවමනායි.