හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්

අපි සුරංගනා කතා වලට ගොඩාක් ආසයි. ඒ වගේම සුරංගනා ලෝකෙක ජීවත් වෙන්න අපි පුංචි කාලේ ජීවිතේ එක වතාවක් හරි ප්‍රාර්ථනා කරලා තියෙනවා. එහෙම නැහැයි කියලා කියනවා නම් ඒක බොරුවක්. එහෙම නැතිනම් ඔබට ළමා කාලයක් තිබිලා නැහැ.
ළමා කාලේ අපි අහපු, කියවපු ළමා කතන්දර සහ සුරංගනා කතාවල් බොහොමයක රචකයා එකම පුද්ගලයෙක් බව ඔබ සමහරවිට දන්නේ නැතුවත් ඇති. ඒ පුද්ගලයා තමයි හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්.

1. හාන්ස්ගේ උපත
Hans Christian Andersen
Source – ralphmag.org
1805 අප්‍රියෙල්  02 වෙනිදා ඩෙන්මාර්කයේ ඔඩෙන්ස්  ප්‍රාන්තයේදී උපත ලබපු හාන්ස්ගේ මව රෙදි අපුල්ලන්නියක් බව සඳහන්. හාන්ස් ගේ පියා වෘත්තියෙන් සපත්තු මසන්නෙකු බව සඳහන් වෙනවා.
හාන්ස්ගේ උපත ගැන විවිධ කතන්දර සහ මතිමතාන්තර තිබුනත්, ඔහුගේ උප්පත්තිය සම්බන්ධයෙන් මෙන්න මේ ආකාරයෙන් ප්‍රවාදයක් පවතිනවා. ඒ ඔහු ඩෙන්මාර්කයේ රජකල අටවන ක්‍රිස්ටියන් රජතුමාගේ ලේ සම්බන්ධතාවක්  සහිත දරුවෙකු බවයි. නමුත් මේ කතාවේ සත්‍යාසත්‍ය තාව මෙතෙක් හෙළි වී නැහැ.

2. දුප්පත් නොවූ පෝසත්කම “පොතපත”
Hans Christian Andersen
Source – andersengenealogy.info
දුප්පත් කමින් අන්තයට පැමිණියත් හාන්ස් වෙත ආදරය පාන මේ සපතේරු පියාණන් (Hans Andersen Sr.) නිතර අරාබි නිසොල්ලාසය වැනි කතන්දර පොත් තමන්ගේ පොඩි පුතාට කියවන්නට ගෙනත් දෙනවා. කතන්දර කෙරෙහි හාන්ස්ගේ සිතේ ආශාව ඇතිවන්නට මුල් බීජය වැටෙන්නේ ඒ මගින්.

3. දුෂ්කරවූ අධ්‍යාපනයේ මුල් පියවර
Hans Christian Andersen
Source – doredelicato.dk
කතන්දර වලින්  උද්දාමයට පත්වෙන හාන්ස් අවසානයේ තමන්ගේ අධ්‍යාපන පිපාසාව නිවාගන්නට ඔඩෙන්ස් නගරයේ දුගී ළමයින්ට වෙන්වුණු පාඨශාලාවකට (pogeskoler) ඇතුලත් වෙනවා. නමුත් එහි ජීවිතය හිතන තරම් ලෙහෙසි වන්නේ නැහැ.
නමුදු වයස 14 දී නළුවෙකු වීමේ බලාපොරොත්තුවෙන් කෝපන්හේගන් නුවරට පැමිණෙන හාන්ස් හට ඔහුගේ හඬේ වූ විශේෂ බවක් නිසා රාජකීය රඟහලේ ශිල්පියෙකු වන්නට ලැබෙනවා. නමුත් අවාසනාවකට නොබෝ කලකින් හඬ වෙනස් වීම නිසා සිය රැකියාව අහිමි වෙන හාන්ස් හට එයින් ඉවත් වන්නට සිදුවෙනවා.

4. භාෂා අධ්‍යාපනය අතර මැද ජීවිතය
Hans Christian Andersen
Source – cocuklaramasal.blogspot.com
1819  දී තමන්ගේ ලිවීමේ හැකියාව වැඩිදියුණු කරගෙන ලේඛකත්වය දියුණු කරගත යුතුයි සිතන හාන්ස්  පසුව භාෂාවේ ප්‍රවීණත්වය ලබන්නට එල්සේනොර්හි භාෂා පාසලකට (Helsingør) ඇතුලත් වෙනවා. නමුත් එම අධ්‍යාපනය ලැබීම වියදම් සහිත කාරණවක් නිසා ඔහු නතරවී සිටින්නේ එම පාසලේ මුල් ගුරුවරයාගේ නිවසේයි.
නමුත් ඉගෙනීම හැරෙන්නට අනික් සෑම මෙහෙකාර කමක්ම කරන්නට වුනත්, විවිධ ගැහැට මධ්‍යයේ හාන්ස් තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගන්නවා. නමුත් ඒ වනවිට ඔහුට ඩිස්ලේක්සියා (Dyslexia) නම් මානසික රෝගයකටත් ගොදුරු වන්නට සිදුවෙනවා. හාන්ස් ගේ ළමා  කාලය දුක්බර එකක් යැයි පවසන්නේ මෙන්න මේ නිසයි.

5. සුරංගනා කතා කලාව
Hans Christian Andersen
Source – wikimedia.org
මෙසේ කාලය කෙමෙන් කෙමෙන් ගතව ගොසින් 1822 දී හාන්ස් තමන්ගේ මුල්ම කෘතිය එළිදක්වනවා. කෙසේ වෙතත් ඒ කෘතිය එතරම් ජනප්‍රියතාවයක් ලබන්නේ නැහැ.  1829 යනු හාන්ස් ගේ ජීවිතය අලුත් මගකට හරවන වසරක් බවට පත් වෙනවා. ඒ ඔහු විසින් ප්‍රහසන , නාට්‍ය සහ කෙටිකතා පොත් තුනක් ලියා පළකිරීමත් සමඟයි. 1835 ඔහුගේ ස්වයං චරිතප්‍රදාන නවකතාව පලකල වසරයි.
1843 කියන්නෙත් ඔහුගේ ජීවිතයේ වෙනසක් කල වසරක් කිව්වොත් නිවැරදියි. ඒ “අවලස්සන තාර පැටවා” නම් සුන්දර සහ ජනප්‍රියතම ළමා කතාව පළකිරීමත් සමඟයි.


6. චාල්ස් ඩිකන්ස් සමග ඇතිවූ මිත්‍රත්වය
Hans Christian Andersen
Source – louisamayalcottismypassion.com
පසු කලෙකදී එංගලන්තයේ බ්ලෙසින්ග්ටන් හි ආදිපාදවරිය (Countess of Blessington) විසින් ඔහුට ආරාධනා කරන්නේ තමා විසින් සංවිධානය කරන සාද වලට පැමිණෙන ලෙසයි. එහිදී ඔහුට ඔහු වඩාත් ආදරය සහ ගෞරව කරන ලේඛකයාව මුණ ගැහෙනවා ඒ චාර්ල්ස් ඩිකන්ස්. ඒ හමුවීමෙන් අනතුරුව මේ ලේඛකයන් දෙදෙනා අතර සමීප මිත්‍රත්වයක් ගොඩනැගෙනවා.
මේ යහළුකම් කෙලෙසින් ඇතිවුවත් චාර්ල්ස් ඩිකන්ස් හා හාන්ස් අතර ඇතිවූ මිතුරුකම නැතිවෙන්නටත් ඔහුගේ අමුතු හැසිරීම් බලපා තිබෙනවා කියලයි අපට සමහර වාර්තා දුටුවම හිතෙන්නේ. ඒවාට අනුව, ඔහු දිනක් ඩිකන්ස් ගේ නිවසට ගියත් ආපසු යන්නට තැකීමක් නොකරම බොහෝ දින ගණනක් එහි නතරවී සිට තිබෙනවා. හාන්ස් දිගු කලත් තිස්සේ තම නිවසේ රැඳී සිටීම ගැන අකමැති වූ ඩිකන්ස් විසින් ඔහුට යන ලෙස “අණ” කිරීමෙන් පසුව ඔහු ඩිකන්ස් ගේ නිවසින් ඉවත්ව ගොස් තිබෙනවා. ඒ සිදුවීමෙන් පසු මේ ශ්‍රේෂ්ට ලේඛකයන් දෙදෙනා අතර මිත්‍රත්වය අවසන්ව ගිය බවටයි තතු වාර්තා වන්නේ.

7. යථාර්ථයට පහරදීම
Hans Christian Andersen
Source – youtube.com
ඔබට මතක ඇති ඉහතදී කියුවා 1843 දී ඔහු “අවලස්සන තාර පැටවා” නමින් කතාවක් ලියා පළකරනවා කියා. නමුත් ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙය ළමා කතාවක් කිව්වට එක්තරා ආකාරයක ඔහුගේ ජීවිත කතාව වෙනත් ආරකින් ලියා දැක්වීමක් වෙන්නටත් පුළුවන් කියලයි විද්වතුන් කියන්නේ.
ඒ වගේම තමයි “අධිරාජ්‍යයාගේ අලුත් ඇඳුම”  යන කතාවත්.

අධිරාජයාගේ අලූත් ඇඳුම’ නම් කතාවට අනුව එක රටක වෙසෙන බලවත් රජ කෙනෙක්, උජාරුවට සළුපිළි පැළඳීම හා හැඩවැඩ වීම හැර අන් කිසි දෙයක් ගැන උනන්දුවක් නොදක්වයි. රජුගේ දුර්වලකම ගැන දන්නා සටකපට සන්නාලියෝ දෙදෙනෙක් පැමිණ රජාට මෙසේ පවසති. ‘රජතුමනි, අප විසින් ඔබ සඳහා නිර්මාණය කරන අලූත් ඇඳුම ලොව අනර්ඝතම දුහුල් රෙදිවලින් නිමකරනු ලබනවා. එහෙත් මෝඩයන්ට එය පෙනෙන්නේ නැහැ.’ රජාව නිරුවත් කොට අලූත් ඇඳුමක් අන්දනවාක් මෙන් රඟපෑ මොවුහු දෙදෙනා ඉනික්බිති පෙරහැරකින් රජු මහපාරට කැඳවාගෙන යති. නව ඇඳුම මෝඩයන්ට නෙපෙනෙන බව කලින්ම ප‍්‍රචාරය කොට තිබූ නිසා නිරුවතින් පාරේ යන රජතුමාට සමච්චල් කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. එහෙත් ඒ ගැන නොදත් කුඩා දරුවෙක් ‘රජු හෙළුවෙන්, රජු හෙළුවෙන්’ කියමින් මහ හඬින් කෑ ගසයි. පොඩි එකාගේ හඬින් අවදිවන රටවැසියෝ ඉන්පසු රජාට හූ කියති.’
උපුටනය – රාවය පුවත්පත.
මෙහිදී හාන්ස් තමන්ගේ කතාව හරහා සියුම්ව පහර ගසන්නේ තමාගේ ජීවිතය අගාධයකට ඇද දැමු තම සත්‍ය පියාවන “8 වැනි ක්‍රිස්ටියන්” රජතුමාට සහ ඔහුගේ පාලනයට බව විද්වතුන් පවසනවා.

8. වර්තමානය
Hans Christian Andersen
Source – mjcbooks.com
මේ ආකාරයේ හාන්ස් ක්‍රිස්ටියන්ගේ කතන්දර 1875 අගෝස්තු 04 වෙනිදා කෝපන්හේගන් නගරයේ සිදුවන ඔහුගේ මරණයෙන් පසුවත් භාෂා 125 කට අධික ප්‍රමාණයකින් පරිවර්තනය වී අදටත් ජනතාව අතරේ රැඳී තිබෙනවා. ඒ වගේම, තවමත් ඒ ඇසුරින් චිත්‍රපට කතා, කාටුන් නිපදවීම නතර වෙලා නැහැ.

9. කොහොමද ලංකාව හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ව හඳුනා ගන්නේ?
Hans Christian Andersen
Source – youtube.com/The Ugly Duckling
ලංකාවේ රසිකයින් හාන්ස්ව හඳුනාගන්නේ රූපවාහිනිය හරහායි. ඔහු විසින් නිර්මාණය කරන ලද සුරංගනා කතා කාටූන් බවට හරවා ඒවා සිංහලයෙන් හඬ කවා පෙන්වීම නිසා එකල ළමා රසිකයින් ලෙස අපි රූපවාහිනී සංස්ථාව තුලින් නිෂ්පාදනය වුනු හරබර වැඩසටහන් බලන්නට පුරුදුවෙලා සිටියා.
නමුත් අවාසනාවකට ඒ රැල්ල ලත් තැනම ලොප් වෙලා තිබෙන නිසා අලුත් පරම්පරාවේ දරුවන්ටත් නරඹන්නට සිදුවී තිබෙන්නේ අර වසර 20කට එපිටින් අපි රූපවාහිනියේ දුටු පැරණි කාටුන්ම තමයි.

10. හාන්ස්ගේ සුරංගනා කතා හිතන තරම් අහිංසක ළමා කතාද?
Hans Christian Andersen
Source – thorvaldsensmuseum.dk
මොකද්ද අප්පා ඒ ප්‍රශ්නේ? කියලා ඔබට සිතුනානම් අපට සමාවෙන්න. ඔබ හැමදාම දුටුවේ හාන්ස්ගේ යහපත් ප්‍රාර්ථනා මතින් ගොඩනැගුණු සාහිත්‍ය විතරයිනේ. අපි දැන් හදන්නේ ඒ ඔබ විසින් හදාගෙන සිටින “යහපත්” නමැති බැරියරය කඩා බිඳලා දමන්න.
හාන්ස් කියන්නේ බොහොම දුක්බර අතීතයක් මතින් ගොඩනැගුනු චරිතයක් ඒ වගේම ඔහු තුල කුඩාකල සිට පැවති  පීඩනය සහ අදහස් ඔහු පලකරනු ලබන්නේ ඔහුගේ ලියවිලි මතින්. මේ තියෙන්නේ අපි ඔහු ගැන දන්නා කොටස නමුත් ඔහුගේ දිනපොත් ඇතුලත් කිරීම් ගැන කල්පනා කර බලනා විට අපිට පෙනෙන්නේ ඔහු ඔබ අපි සිතා සිටිනා පුද්ගලයා නොවන බවයි.
ඔහු තුල තිබුනේ අඳුරු මනදොළ පුරවා ගැනීම් සහ ඒ මතකය යලි යලිත් මතක් කරමින් ස්වයංවින්දිත ක්‍රියාකාරකම් වල යෙදීමයි. ඔහු එක තැනක මේ ආකාරයේ සිය දිනපොතේ සටහන් තබනවා.
Today I had a visit from such-and-such a person, they’re so sweet,” he would write. “When they left, I had a double-sensuous ++.
උපුටනය – ද ගාර්ඩියන් පුවත් අඩවිය
ඒ වාගේම ඔහු විසින් නිර්මාණය කරන ලද බොහෝ සුරංගනා කතා වල සහ අනෙකුත් කතාවල කාන්තා චරිත වලට බොහොම අවාසනාවන්ත අවසානයන් ගෙන දෙනවා, මෙසේ කිරීමට හේතුව තමාට සුජාත පුතණුවෙකු ලෙසින් සමාජ ගත වීමට නොහැකිවීමේ වාඩුව ගැනීමක් වන්නට පුළුවන් යයි,  බොහෝ විචාරකයින් පවසනවා.

11. ටාෆෙෆොබියා
Hans Christian Andersen
Source – buzzfeed.com
ඒ වගේම හාන්ස් ටාෆෙෆොබියා [taphephobia] නමැති රෝගයෙන් පීඩා විඳලා තියෙනවා. ටාෆෙෆෝබියා යනු “තමාව පණපිටින් වල දමාවි” යයි සිතෙන අනියත බියයි. මේ බිය නිසාම හාන්ස් නිදාගන්නා විට තමන් “මැරිලා නොවේ නිදාගෙනය” යන්න සටහන් කරන ලද පුවරුවක්ද තමන් අසලින් තබාගෙන ඉඳලා තියනවා කියල කියනවා.

12. හාන්ස්ගේ ප්‍රේම සම්බන්ධතා
Hans Christian Andersen
Source – museum.odense.dk
හාන්ස් කිසිවිටෙක කාන්තාවන් සමඟ සම්බන්ධතා පවත්වන්නට කැමැත්තක් නොදැක්වූ අයෙක් බවට මත පලවෙනවා. ඒ වගේම ඔහු ද්වී ලිංගිකයෙක් හෝ හෝ සමරිසියෙකු බවටත් මත පලවෙනවා, ඒ වගේම ඔහුගේ සමහර සුරංගනා කතා ඒ අත්දැකීම් සහ හැඟීම් පාදක කරගෙන නිර්මාණය වුනා කියලත් කියවෙනවා. එක කලෙක ඔහු තම මිතුරෙකු වෙන එඩ්වර්ඩ් කොලින්ස් වෙත රෝමාන්තික ලියමන් ලියූ බවට වාර්තාවල සඳහන්. හාන්ස් තම ජනප්‍රිය සුරංගනා කතාවක් වන The Little Mermaid රචනා කලේ කොලින්ස් ගැන ඔහුගේ හිතේ තිබූ හැඟීම් ප්‍රකාශ කරන්නට යැයිද කියවෙනවා.
මේ මොනවා ගැන කියුවත්, ඔහු විසින් කුමන මානසිකත්වයෙන් ඒ කතන්දර නිර්මාණය කලත් අදටත් හෙටටත් ඒ කතා ළමා මනස සනසවන බව නම් සදාකාලික සත්‍යයක්.