CSN බැංකු ගිණුම්








චීන රජයෙන් ශ්‍රී ලංකා රජය වෙත 2007 වසර ආසන්න කාලයේ ලැබුණු පරිත්‍යාගයක් අවභාවිත කරමින්, 2008 වසරේ අප්‍රේල් 11 වන දින සමාගම් මැදුරේ ලියා පදිංචි අංක PV 63832 දරණ ලියාපදිංචි අංකය යටතේ සංස්ථාපනය කරනු ලැබූ  Vist Broadcasting (Pvt) Ltd නැමැති සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි තැනැත්තිය වන්නේ  නුගේගොඩ, මිරිහාන, පරණ කොට්ටාව පාරේ 175/2 පදිංචි  වින්ද්‍යා රංගනී හෙට්ටිආරච්චි (මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නැගණියගේ දියණිය, හිමාල් හෙට්ටිආරච්චි‍ගේ සොයුරිය) නැමැත්තියයි.
ඉතිරි අධ්‍යක්ෂකවරුන් වන්නේ නැදිගමුව ලලිත් පියුම් පෙරේරා (හිටපු තරුණසේවා සභාවේ සභාපති), කපිල ගාමිණී සමරසිංහ දිසානායක හා කස්සප සෙනරත් දිසානායක යන පුද්ගලයන්ය. ඉතකී සමාගමේ සමාගම් ලේකම්වරයා ලෙස කොළඹ 05 ද ෆොන්සේකා පාරේ අංක 12 පදිංචි දෙව්මින් චන්ද්‍රනාත් තේමින්ද පෙරේරා කටයුතු කරනු ලැබ ඇත.
Vist Broadcasting (Pvt) Ltd නැමැති සමාගමේ ලියාපදිංචි ලිිපිනය ලෙස කොස්වත්ත බත්තරමුල්ල ලිපිනයක් සඳහන් වුවද කාර්යාල කටයුතු පවත්වාගෙන ගොස් ඇත්තේ කොළඹ 04, ඕෂන් ටවර්ස් හි 17 ඒ නැමැති ස්ථානයේය.
මෙම සමාගමට තාවකාලික විකාශන බලපත්‍රයක් එවක විශයභාර අමාත්‍යවරයා වූ අනුර ප්‍රියදර්ශන යාපා විසින් ලබා දී තිබේ.
මෙහි ආයෝජකයා වශයෙන් නිලංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි රුපියල් මිලියන 150 ක් අයෝජනය කිරීමට එකග වුවද අවසානයේ ඔහු ආයෝජනය කොට ඇත්තේ රුපියල් මිලියන 24 ක් පමනි. සමාගමේ මූලික ආයෝජනය වන රුපියල් මිලියන 160 යොදවා ඇත්තේ නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ විසින් බව කියවේ.
2010 අගෝස්තු මස නැදිගමුව ලලිත් පියුම් පෙරේරා සහ කපිල ගාමිණී සමරසිංහ දිසානායක අධ්‍යක්ෂක ධූරවලින් ඉවත් වී ඒ වෙනුවට නරේන්ද්‍ර සීලනාථ නැමැත්තෙක් අධ්‍යක්ෂක මණ්ඩලයට එක්වී තිබේ.
ඉන්පසු 2011 නොවැම්බර් මස මෙකී Vist Broadcasting (Pvt) Ltd නැමැති සමාගම Carlton Sports Network (CSN ) සමග ඒකාබද්ධ වී තිබේ. එම ඒකාබද්ධ වීමේදී කස්සප සෙනරත් සහ නරේන්ද්‍ර සීලනාථ යන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් වී ඇත.
ඉන්පසු සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට කවිශාන් දිසානායක නැමැත්තෙකු එක්වී තිබේ. සමාගමේ ප්‍රධාන විධායකවරයා ලෙස නිශාන්ත රණතුංග පත්වී ඇති අතර 2012 වසරේදී සිංහ එෆ්එම් හා රෙඩ් එෆ්එම් ගුවන් විදුලි නාලිකා සමාගම විසින් අරඹා ඇත.
2012 නොවැම්බර් මස මේනක ලියනගේ (චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ පාලන සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති උපාලි ලියනගේ ගේ පුත් ) මෙම සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් එක්වී තිබේ.
සමාගමේ ආරම්භක ප්‍රධාන කොටස් හිමිකාරිය ලෙස කටයුතු කළ වින්ද්‍යා රංගනී හෙට්ටිආරච්චි 2013 මාර්තු අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් වී ඇත.
සමාගමේ නවතම වෙනස්වීම් සිදුවී ඇත්තේ 2015 සැප්තැම්බර් මාසයේදී ය. එම මාසයේදී මේනක ලියනගේ සහ කවිශාන් දිසානායක ඉල්ලා අස්වී ඇති අතර ඒ වෙනුවට නිරංග සහ සංඛ යන දෙදෙනෙකු අධ්‍යක්ෂක මණ්ඩලයට එක්වී තිබේ.
මීට අමතරව දිනේෂ් ජයවර්ධන( රවී කරුණානායකගේ ඥාතියෙකි)  හා දිලිණි කරුණාජීව (ඉන්දික කරුණාජීවගේ බිරිඳ ) සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම නාමල් රාජපක්ෂගේ සමීපතම හිතවතියක් වන සුජානි බෝගොල්ලාගමද විධායක නොවන අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කර ඇත.
අධ්‍යක්ෂක ධූරවලින් ඉවත්වූ  ලලිත් පියුම් පෙරේරා සහ නරේන්ද්‍ර සීලනාථ පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ කට උත්තර ලබා දී තිබේ.
මූළ්‍ය අපරාධ කොට්ඨාශය විසින් දිනේෂ් ජයවර්ධනට හා මේනක ලියනගේට එසේ පැමිණ කටඋත්තර ලබා දෙන ලෙස දන්වා සිටියද දේශපාලන බලවතුන් විසින් එය වලක්වා ඇති බව වාර්තා වේ. ඊට අමතරව ඉන්දික කරුණාජීවගේ බිරිඳ මේ වන විට ඕස්ට්‍රේලියාවේ වාසය කරන බැවින් ඇයව සම්බන්ධ කර ගැනීමට FCID නිලධාරීන් මේ දක්වා අපොහොසත් වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වන විට තැන තැන පවසමින් යන්නේ සුජානි බෝගොල්ලාගම ඇතුළු කණ්ඩායම තමන්ව පාවා දුන් බවයි.
මේ වන විට FCID නිලධාරීන් වින්ද්‍යා රංගනී හෙට්ටිආරච්චි ඇතුළු පලමු අධ්‍යක්ෂක මණ්ඩලයේ බැංකු ගිණුම් පරීක්ෂාව සඳහා උසාවි නියෝගයක් ලබා ගෙන පරීක්ෂන පවත්වමින් සිටී. 

C Media