ලංකාවෙන් අලුතින් බිහිවුණු Android App ගැන ඔබ දන්නවද?

ලංකාවේ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් නිෂ්පාදනය කරන වැඩකාරයෝ කොයි තරම් ඉන්නවද? සෑහෙන්න ඉන්නවා. ඒ අය අතින් බොහොම ප්‍රයෝජනවත්, ලංකාවට විශේෂයෙන්ම වැදගත් වෙන යෙදුම් සෑහෙන්න නිර්මාණය වෙලාත් තියෙනවා. මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි. ලංකාවට විශේෂ, ලංකාවේ මේ දවස් වල ජනප්‍රිය වෙලා තියෙන ආතල් සහ ප්‍රයෝජනවත් ඇප් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඔයාලත් දන්න ඇප් කමෙන්ට් කරගෙන යන්නයි තියෙන්නේ.

1. මල් චැට්
Cool New Apps 2017
Source – google.com/store
ලංකාවේ ඉන්න ඩයලොග් සහ හච් පාරිභෝගිකයින් වෙනුවෙන්ම හදලා තියෙන මල් චැට් ඇප් එකෙන් කරන්නේ  D2D හරි H2H හරි D2H හරි අතර ඩේටා ඔන් කරලා නැති වෙලාවක වුනත් චැට් කරන්න ඉඩ හදන එක. හැබැයි මෙහෙමයි, එස් එම් එස් හරහා වැඩේ ගියත් දවසකට රුපියල් 3 ක් සහ බදු ගාස්තු කැපෙනවා. හැබැයි ඉතින් දවස පුරා චැට් කරන ඩයල් එකකට ඒ ගාණ අතේ ලාබයි.

2. Tenaga Park Smart
Cool New Apps 2017
Source – play.google.com
කොළඹ නගර සභාවෙන් දියත් කරපු මේ ඇප් එකෙන් ස්මාට් විදියට වාහන පාක් කරන්න ඉඩ ලබාදීම තමයි කෙරෙන්නේ. කොහොමත් කොළඹ පාකින් ස්පේස් එකක් හොයාගන්නවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්නේ. මේ ඇප් එක දාගත්තට පස්සේ ඒ හරහා ලඟම තියෙන මීටර් පාකින් පොට් එක හොයාගන්න පුලුවන්. දැන් එතන පාක් කරලා ගාණත් ඔන්ලයින්ම ගෙවන්න පුලුවන්!
 

3. Recharger – Quick recharge
Cool New Apps 2017
Source – play.google.com
දැන් හිතලා බලන්න ඔය ෆෝන් කාඩ් කනෙක්ෂන් වලින් දුවන ඈයන්ට අලුතින් කාඩ් එකක් දානවා කියන්නේ මොන වදයක්ද කියලා. අර අංක ටික බලාගෙන හරියට ඔබන්න ඕන. එක අංකයක් හරි එහෙමෙහෙ වුනොත් ආයෙ දාන්න ඕන. වැඩ ගොඩයි. ආන්න ඒ වැඩේ ලේසි කරන්න තමයි මේ ඇප් එක හදලා තියෙන්නේ. අපරාදෙ කියන්න බෑ, මේ ඇප් එකෙන් ෆෝන් එකේ කැමරාව හරහා හූරපු කොටසේ තියෙන පින් අංකේ කෙලින්ම ස්කෑන් කරලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ ඇප් එකට ඔබ පාවිච්චි කරන්නේ ඩයලොග්ද, මොබිටෙල්ද, හච්ද, එටිසෙලාට්ද නැත්තං එයාටෙල්ද කියලත් අඳුනගන්න පුලුවන්. ඒ හින්දා කෙලින්ම ස්කෑන් කලා, ඩයල් නව් ගැහුවා!

4. Sri Lanka Radio
Cool New Apps 2017
Source – play.google.com
දැන් ඔය හැම ස්මාට්ෆෝන් එකේම රේඩියෝ පහසුකම් නෑනේ. එහෙම කොන් කිරීම් වෙච්ච ෆෝන් එකකට ඊලඟට තියෙන විකල්පේ තමයි ඔන්ලයින් රේඩියෝ. හැබැයි ලංකාවේ රේඩියෝ ස්ටේෂන් වල හැම එකේම වගේ ඔන්ලයින් බ්‍රෝඩ්කාස්ට් එකකුත් තිබ්බට, ඒ එක එකේ ඇප් ඩවුන්ලෝඩ් කරගන්න එක වාත වැඩක්නේ. ඒ වෙලාවට තමයි මෙන්න මේ ඇප් එක ඉස්සරහට එන්නේ. ඒ තරම් අලුත් ඇප් එකක් නෙවෙයි. කොහොම වුනත් ප්‍රධාන රේඩියෝ ස්ටේෂන් ඇතුළු ලංකාවේ රේඩියෝ චැනල් විසිහයකින් ඕන එකක් අහන්න පුලුවන් මේ හරහා.

5. bigbon
Cool New Apps 2017
Source – play.google.com
දැන් ඔය ලංකාවේ එක එක කාඩ් ප්‍රොමෝෂන් තියෙනවනේ. ඒ කිව්වේ ක්‍රෙඩිට් කාඩ් වලට, ඩෙබිට් කාඩ් වලට, එතනින් ගියහම එක එක ලෝයල්ටි කාඩ් වලට හම්බුවෙන ඩිස්කවුන්ට් අරවා මේවා. මේ ප්‍රමෝෂන් දුවන්නේ එක්තරා කාලසීමාවක විතරයි වගේම, අලුත් අලුත් ප්‍රමෝෂන් දවසින් දවස එනවා. මේ ඇප් එකෙන් කරන්නේ මේ විදියේ ප්‍රමෝෂන් ගණනාවක් එකට ඇප් එකකින් පෙන්නන එක තමයි. එතකොට ලේසියෙන්ම තමන්ගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් එක හරි ලෝයල්ටි කාඩ් එක හරි සිලෙක්ට් කරලා මේ වෙලාවේ රන් වෙන ප්‍රොමෝෂන් මොනවද කියලා හොයාගන්න පුලුවන්.

6. Bodhi Pooja Gatha
Cool New Apps 2017
Source – play.google.com
දැන් පන්සලට යනකොට ඔය උපාසක අම්මලා එහෙම පොඩි පොඩි ගාථා පොත් අරගෙන යනවා දැකලා තියෙනවද? ඔය පොත් වල තමයි බෝධි වන්දනා ගාථා වල ඉඳන් ඕන කරන ගාථා ඔක්කොම තියෙන්නේ. හැබැයි දැන් එහෙම පොත් අරගෙන යන්නෙ නැතුව ලේසියෙන්ම මේ ඇප් එක ස්මාට්ෆෝන් එකට දාගෙන ස්මාට්ෆෝන් එක පන්සල් අරගෙන යන්න තියෙන්නේ. බෝධි පූජා ගාථා වල ඉඳලා පිරිත් දක්වා නිතර අවශ්‍ය වෙන ගාථා හැම එකක්ම මේකේ තියෙනවා.

7. Robbialac Colour Explorer
Cool New Apps 2017
Source – play.google.com
ගෙයක් පාට ගාන්න කලින් කොහොමද පාට ‍තෝරන්නේ? හාඩ්වෙයාර් එකට ගියහම තියෙනවා පැලට් එක. එහෙම නැත්තං පේන්ට් කරන බාස් උන්නැහේ ගාවත් ඔය පැලට් කීපයක්ම තියෙනවා. දැන් පැලට් එක පෙරල පෙරල හොයන්න ඕන නෝනට හරියන පාට මොකක්ද කියලා. හැබැයි රොබියලැක් එකෙන් ඇප් එකක් හඳුන්වලා දීලා තියෙනවා ඒ වැඩේ තව ලේසි කරගන්න. මේකෙන් අපිට පැලට් එකෙන් පාට ‍තෝරනවට වඩා ගෙදර බිත්තියකට වඩාත්ම හරියන පාට හොයාගන්න පුලුවන්. කරන්න තියෙන්නේ ඇප් එකේ තියෙන කැමරා අයිකන් එකෙන් කැමරාව ඔන් කරලා බිත්තියකට හරි වෙන පාට ගාන්න ඕන තැනකට හරි අල්ලලා ෆොටෝ එකක් ගන්න එක. දැන් ඒ ෆොටෝ එකට කලර් පැලට් එකෙන් එක එක පාට සෙට් කරලා මැච් කරලා බලලා නෝනට හරියනම පාට හොයාගන්න පුලුවන්!