ඒ කාලේ පාරවල් වල රජ කරපු බස් ගැන ඔබ දැන සිටියාද?

ලංකාවේ ඉතිහාසය තරම්ම රසවත් ඉතිහාසයක්, ලංකාවේ රථවාහන සම්බන්ධයෙනුත් තිබෙනවා. ඒ සියල්ලෙන්ම වැඩිම විස්තර තිබෙන්නේ ලංකාවේ පොදු ප්‍රවාහන (CTB- Ceylon Transport Board) සේවා සම්බන්ධයෙන් කිව්වොත් ඔව් අපි නිවැරදියි.

ඉතිහාසේ

Buses of srilanka
Source – sltbbus.blogspot.com
ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ ආරම්භය, වඩාත් සවිස්තරව කියනවා නම් ලංකාවේ බස් රථ භාවිතාවේ ආරම්භය වසර 100 කටත් එපිටට යනවා. 2017 වසර වෙන විට ලංකාවේ මුලින්ම බස් මගී ප්‍රවාහන සේවාවක් අරඹා වසර 110ක් වෙනවා. එනම් මුල්ම මගී ප්‍රවාහන බස් රථයක් ගමන් අරඹන්නේ වසර 1907 දියි. එය ආරම්භ කරන්නේ ටී. ඩබ්ලිව් කොලට් නැමැත්තෙක් විසිනුයි. ඒ කාලේ ඔවුන්ට කැමැති මාර්ගයක බස් රථ පදවාගෙන ගොස් මගීන්ට සේවය සපයන්නත් හැකියාව තිබුනා, අද කාලේ වගේ එක මාර්ගයක (රූට් එකක) පමණක්ම යන්නට අවශ්‍ය උනේ නැහැ.
ඉන් පසුව 1940 වන විට වඩාත් ලාභ උපයන ව්‍යාපාරයක් ලෙස වර්ධනය වූ මේ බස් රථ සේවාවේ ඒකාධිකාරය පැවතුනේ බස් රථ සමාගම් කිහිපයක් සතුවයි. ඔවුන් ලංකාවට බස්රථ ආනයනය කලේ බ්‍රිතාන්‍ය වැනි රටවල් වලිනුයි. බස් රථ පිට රටවල් වලින් ගෙන්නූ නමුත් ඒවායේ ගුණාත්මක භාවය ගැන නම් සෑහීමකට පත් වෙන්නට හැකියාවක් තිබුනේ නැහැ.  අසාධාරණ ගාස්තු ක්‍රම  සහ අඩු පහසුකම් නිසා එවක ජනතාව මේ සේවාවන් ගැන සිටියේ බොහොම කලකිරීමෙන්.
එවක බස් ඒකාධිකාරයේ තිබුණ ඌණ ගුණාත්මක භාවය ගැන සවිස්තර බ්ලොග් ඇතුළත් කිරීමක් sltbbus.blogspot.com බ්ලොග් අඩවියේ තිබෙනවා. එයින් කොටසක් මේ ලෙසින් උපුටා දක්වන්නට අපි තීරණය කළා.
1958 ට පෙර ශ්‍රී ලංකාවේ සමස්ත මගී ප්‍රවාහනය යටත්ව තිබුනේ බලසම්පන්න බස් හිමියන් පිරිසක් යටතේ තිබී ඇති සමාගම් 70 කටය. බොහෝ සමාගම් සතු බස් රථ මගීන්ට සුව පහසුව නොව සාමාන්‍ය මට්ටමේ පහසුකමක් වත් ලබා දුන්නේ නැත. මාර්ග රාශියකම බස් සේවා පැවැතී ඇත්තේ උදේ සහ සවස පමණි. බස් සමාගම් බහුතරයක් තුලම විධිමත් කළමනාකරණයක් නොතිබිණි. බොහොමයක් බස් හිමියන්ගේ කුලී කරුවන් ලේඛනගත කිරීමක් ද සිදු නොවීය. උදේ පාන්දරින් එන සේවකයාට දෛනික රැකියාව දීමේ ක්‍රමවේදය මත සේවකයෝ යුහුසුළුව වැඩට පැමිණියහ. ප්‍රමාද වූ හෝ අතිරේක සේවකයන්ට වැඩ නොමැති නම් අකුලාගෙන ගෙදර යාමට විනා වෙනත් විකල්පයක් නොවීය. එහෙයින් සේවකයින් තුලද සමාගම් කෙරෙහි තිබී ඇත්තේ දැඩි කලකිරීමකි. බස් සේවයේ විධිමත් ධාවන කළමනාකාරිත්වයක් සහ පරිපාලනයක් පැවැතී ඇත්තේ සවුත් වෙස්ටර්න් බස් සමාගම ප්‍රධාන බස් සමාගම් කීපයක පමණි.
උපුටා ගැනීම : http://sltbbus.blogspot.com
1948දී කරන්නට යෙදුනු රත්නම් සමීක්ෂණය, 1954 දී කල සන්සෝනි සමීක්ෂණය සහ 1956 දී කල ජයරත්න පෙරේරා සමීක්ෂණයට අනුව 1956 දී පොදු ප්‍රවාහන සේවය ජන සතු කරන්නට නිර්දේශ කෙරුණා. නමුත් ලංගම ආරම්භ කරන්නේ 1958 දීයි.
මේ අයුරින් ජන සතු කිරීමත් සමග ආසියාවේ බස් ගමනාගමනය ජන සතු කල දෙවන රට බවට ලංකාව පත් වුණා. එලෙසින් මුලින්ම ජන සතු කලේ නිට්ටඹුව ඩිපෝවට ජර්මනියෙන් ආනයනය කල බෙන්ස් 321 වර්ගයේ බස් රථයක්. චැසියක් නොමැති මේ බස් රථය වර්තමානයේ බණ්ඩාරනායක කෞතුකාගාරය සතු වස්තුවක් වෙනවා.

ට්‍රෑම් කාර්

Buses of srilanka
Source – awidimu.com
Millennialsලා දැකලාවත් නැති වුනාට ට්‍රෑම් කාර් කියන්නෙ අපේ පරපුරට කලින් පරපුරවල් බොහොම සතුටින් වින්ද ප්‍රවාහන මාධ්‍යයක් කියලා නම් කියන්නම ඕනේ. 100% ක් පරිසරයට හිතකර මේ පැරණි ප්‍රවාහන මාධ්‍යය ධාවනය වන්නේ රේල් පීලි දෙකක් මත වන අතර, එයට බලය සපයන්නේ ඉහළින් රේල්පිල්ල ට සමාන්තරව ගමන් කරන විදුලි රැහැනකින්.
මේ ආකාරයෙන් ආරම්භ වෙන ලංකාවේ ට්‍රෑම්කාර් සේවාව දකුණු ආසියාවේ ප්‍රථම ට්‍රෑම්කාර් සේවාව ලෙසට සැලකිල්ලට පාත්‍ර වෙනවා. කෙසේ වෙතත් 1950 ගණන් පමණ වෙනකොට ට්‍රොලි බස් රථ මහාමාර්ගයට එකතු වීමත් එක්ක මේ අපුරු ප්‍රවාහන මාධ්‍යය අත්හැර දමනු ලැබුවා.


බස් එක්කම ආපු ට්‍රොලී බස්

Buses of srilanka
Source – bokhans.com
ට්‍රොලි බස් රථ සේවාව මෙරට ඇරඹෙන්නේ 1953 අවුරුද්දේදියි . පෙනුමින් බස් රථයකට සමාන වුවත් මේ රථ කිසිවක් ඉන්ධන වලින් ධාවනය වන්නේ නැහැ. විදුලිය භාවිතා කරමින් එක්තරා විදියකට මාර්ග ගත හැසිරවීම් ක්‍රමයක් මත ධාවනය වුනු මේ සිංගල් ඩෙකර් සහ ඩබල් ඩෙකර් ට්‍රොලි බස් රථ එකල අතීත කොළඹ නගරය තුල සුලභ දසුනක් වුනා. 1965 පමණ වන විට මේ සේවාව නතර කරනු ලැබුවා.

අපිට මතක කාලේ තිබ්බ මේ බස් ඔබටත් මතකද බලන්න!

අතීතය සිහිනයක් පමණයි කියලා ඉතිහාසය මෙන්න මේ විදිහට පහු වෙලා යන කොට 80 දශකයේ දරුවන් විදියට අපිට මතකයේ තිබෙන බස් රථ කිහිපයක් ගැනත් මේ සටහනට එකතු නො කලොත් ඒක අඩුවක් වෙයි කියලා අපිට හිතුණා.

1. ඩබල් ඩෙකර්
Buses of srilanka
Source – classicbuses.co.uk
මතකද මේ මොකක් ගැනද කියන්නේ කියලා? ඩබල් ඩෙකර් කියන්නේ තට්ටු දෙකේ බස් රථයක්. මේ බස් වර්තමානයේදීත් විශේෂ ඇනවුම් වලට අශෝක් ලේලන්ඩ් සමාගමෙන් නිෂ්පාදනය කලත්, දැන්නම් එතරම් ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් විදියට කතාබහ වන්නේ නැති තරම්.
මුලින්ම ඩබල් ඩෙකර් බස් ධාවනය ආරම්භ වෙලා තියෙන්නේ 50 දශකයේ මැද භාගයේ සිටයි. ඒ සවුත් වෙස්ටර්න් බස් සමාගමෙන් කොටුවේ සිට ගාල්ල දක්වා බස් රථ අටක් ධාවනයට එකතු කිරීමත් සමගයි. 1958 ජනවාරි පළමු වෙනිදා සිට බස් ජනසතු වීමෙන් පසුවත් ඩබල් ඩෙකර් බස් 1200ක් විතර ලංකාව පුරාම ධාවනයේ යෙදී තිබෙනවා. අවාසනාවට ඒ එකක්වත් දැන් නම් භාවිතා වන්නේ නැහැ.

2. Isuzu BF-50
Buses of srilanka
Source – sltbbus.blogspot.com
මතක් වෙන කොටත් එන්ජින් ශබ්දය හිතට එන තරම් මතකයක් පවතින බස් රථයක් වුනත් වර්තමානයේ මේ බස් රථ වර්ගය දැකගන්නට තිබෙනවාද කියා නම් සැක සහිතයි. වෙනත් ටාටා බස් රථ වලට වඩා එන්ජින් බලයෙන් වැඩි මේ බස් රථය ඒ කාලේ වැඩිපුරම පාරවල් වල දකින්නට ලැබුණා කිව්වොත් තමා වඩාත් හරි. ඒ වගේම බත්තරමුල්ල, මීතොටමුල්ල වගේ බස් ඩිපෝ වල මේ රථ බහුතරයක් දැක්කට මොකද දැන් නම් මතකයක්ම විතරයි මේවා.
 
3. Isuzu ECR -500
Buses of srilanka
Source – lankabusspotter.blogspot.com
1980 දශකයේ දී ලංකාවේ බස් රථ එකතුවට එක්වෙලා තිබෙන මේ බස් රථ කුඩා දරුවන් වශයෙන් අපේ හිත ඇද බැඳ තබා ගත් බස් රථ වර්ගයක් වෙනවා. බොහොම ඉඩ පාඩු සහිතව නිපදවා තිබුණු මේ රථ ඇසට බොහොම ප්‍රියජනක දසුනක් වුන බව නම් නොකියා ම බැහැ.

4. Ashok Leyland BRIJ – Viking
Buses of srilanka
Source – plus.google.com/+SltbbusBlogspot
1999 වසරේ ධාවනය එකතු කරලා තිබෙන මේ බස් රථ නැවත අලුත් වැඩියා කිරීමෙන් පසුව ධාවනය එකතු කරන්නට SLTB ආයතනය තවමත් කටයුතු කරනවා. දොර දෙක බස් රථයක් වෙන මෙහි බඳ නිර්මාණය කරලා තිබෙන්නේ ඉන්දියාවේ BRIJ  සමාගම විසිනුයි.

5. WESCO
Buses of srilanka
Source – sltbbus.blogspot.com
වෙස්කෝ  කියන්නේ මෝටර් රථ සමාගමක් නොවෙයි, එය බ්‍රිතාන්‍ය බස්රථ වල බඳ නිෂ්පාදනය කරන සමාගමක්. වෙස්කෝ සමාගෙමෙන් නිෂ්පාදනය කල මේ බඳවල් එකල ටාටා සහ ඉසුසු බස් රථ වලට භාවිතා කළා. කලාතුරකින් තවමත් මේ වර්ගයේ බස් රථ ධාවනයේ පවතිනවා. මේවා නිර්මාණය වුයේ ඩියුපල් සහ මෙට්සෙක් තාක්ෂණය ද සහිතවයි.

6. LATEC
Buses of srilanka
Source – sltbbus.blogspot.com
ලටෙක් ලංකාවේ නිෂ්පාදිත බඳ සහිත බස් වර්ගයක් මෙහි එන්ජිම චැසිය සහ අනෙකුත් කොටස් ඩියුපල් සහ මෙට්සෙක් තාක්ෂණය යටතේ 2001 වසරේ දී නිර්මාණය කෙරුණා.  නමුත් මේ බස් රථත් දැනට දකින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින් තමයි.

7. TATA 909
Buses of srilanka
Source – pinterest.com
වසර 1999 පමණ කාලයේ ලංකාවට ආනයනය කරපු මේ රථය අපේ මිතුරන් ඒ කාලේ හැඳින්නුවේ “ටාටා කොටේ” යන නමිනුයි. තනි දොරකින් සමන්විත මේ බස් රථයේ බඳ නිර්මාණය කර ඇත්තේ ඉන්දියාවේ රුබි සමාගම විසිනුයි.

8. Dimo TATA 1313
Buses of srilanka
Source – plus.google.com/+SltbbusBlogspot
තවත් අපේ මතකයේ රැඳෙන බස් රථ වර්ගයක් නම් ටාටා එන්ජින් සහිත ඩිමෝ ආයතනයට ම ආවේණික ෆයිබර් බඳකින් සමන්විත බස් රථයක්. ඒ වගේම බොහොම සුවපහසුවට ආසන අතර ඉඩ මැනෙවින් තිබෙන මේ බස් රථය එකල මහමග සුලභ දසුනක් බවට අපට මතකයේ තිබෙනවා.
බඳ සහ පිටත පෙනුමින් කිසිදු වෙනසක් නැතත් බෙන්ස් මාදිලියෙන් නිකුත් කල මේ ආකාරයේ බස් රථත් එකල ධාවනය සඳහා යොදවා තිබුණා.