ඔබ අ/කැමති ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන්


රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වීමට පෙර සිටම ලංකාවේ තොරතුරු සන්නිවේදනයේ රජකම් කළ වෑර්ලස් එක හෙවත් ගුවන් විදුලි යන්ත්‍රය, අද අප සිටිනා අන්තර්ජාල යුගයේදීත් අභාවයට නොගොස් තිබීම එක්තරා අන්දමකට පුදුමයක් තමයි. කොහොම වුනත් අද වෙනකොට විවිධාකාරයේ එෆ්.එම්. චැනල් ගණනාවක් ‍තෝරාගැනීම සඳහා තිබෙනා අතර, මේ චැනල් අතර තිබෙන තරගයද සුලුප‍ටු නැහැ. මේ චැනල් වලින් බොහෝමයක් අසන්නාට චැනලය ඇසීම වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන තරමට මේ තරගකාරීත්වය ඉදිරියට ගෙනිහින්. මේ කථා කරන්න යන්නේ මේ එක් එක් චැනල් අතරින් අපට අමතක නොවන ලෙසින් සිහියේ ‍රැඳී තිබෙනා වැඩසටහන් කීපයක්. මේවාට ඔබ කැමැති වගේම අකැමැති වෙන්නත් පුලුවන්!

1. කෝච්චි පාරේ දඩෝරියා හිරු එෆ්.එම්. – ඩීජේ අරා සහ පැස්බරා
Source -youtube.com
Source -youtube.com
බස් එකක යන වෙලාවක වුනත් මේ ඩීජේ අරාගේ සහ පැස්බරාගේ වැඩසටහන අහගෙන ඉන්න කෙනෙක්ට සමහර වෙලාවට දත් හපාගෙන හිනාව හිරකරගෙන ඉන්න වෙන්නේ. හැබැයි මේ දෙන්නා එක එක විදියට නොදන්න මිනිස්සුන්ව බයිට් කරන ඒවා අහගෙන ඉන්නකොට හිතට එන කාරණේ තමයි මේ දෙන්නා කී දෙනෙක්ගෙන් සුද්ද සිංහල අහගෙන ඇතිද කියන එක. අනේ අපේ ගෙදරට නයෙක් ඇවිත් අනේ එලවලා දෙන්නකෝ කියලා පැස්බරා හෙට ඔබට වුනත් කෝල් කරන්න පුලුවන්!


2. දුකට සැපට ෂා එෆ්.එම්. – ගුඩ් මෝනින් ෂා/ ෂා හැන්දෑව
Source -shaafm.lk
Source -shaafm.lk
වේග රිද්ම ගීත වගේම රිමික්ස් ගීත අරගෙන වේගයෙන් ජනතාව අතරට ගියපු ෂා එෆ්.එම් ලබාගත් ක්ෂණික ජනප්‍රියත්වයත් සමගින්ම ෂා අනුකාරක එෆ්.එම්. චැනලයන්ද බිහිවුනු බව බොහෝ දෙනෙක් දන්න කාරණාවක්. ෂා එෆ්.එම්. එක්ක මේ දවස්වල බොහෝ දෙනෙක් අහන්නේ ගුඩ් මෝනින් ෂා වගේම ෂා හැන්දෑව කියන වැඩසටහන් කියලා පොඩ්ඩක් කථා බහ කරල බලනකොට තේරෙන දෙයක්. අඩු තරමින් නිව්ස් එකක්වත් සීරියස් ගන්නෙ නැහැ කියලා ඒ දවස්වල මේ අයට චෝදනාත් එල්ල වුනා මතකයි.


3. හතර මහා නිධාන ගෙන එන එෆ්.එම්.දෙරණ – චූටි මල්ලි පොඩි මල්ලි
Source - fmderana.lk
Source – fmderana.lk
ටීවී දෙරණ වගේම ඉතාම කෙටි කාලෙකින් ලොකු ගේමක් ගහපු රේඩියෝ චැනල් එකක් තමයි එෆ්.එම්.දෙරණ කියන්නේත්. මේ චැනල් එකේ ජනප්‍රියම වැඩසටහන් අතරින් එකක් තමයි චූටි මල්ලියි පොඩි මල්ලියි කියන්නේ. සාමාන්‍යයෙන් ගාමින්ද සහ සුනෙත් හෙවත් පොඩි මල්ලි සහ චූටි මල්ලි දෙදෙනාගේ අපි නොදන්න ලයිව් බලලා හිනානොවුණු කෙනෙක් ලංකාවෙන් හොයාගන්න බැරිවෙයි. මේ දෙන්නගේම වැඩසටහනක් වුනත් චූටි මල්ලියි පොඩි මල්ලියි ඊට වඩා වෙනස් වුනත් ඉල ඇදෙන හාස්‍ය රසයෙන් නම් අනූනයි!


4. ඇස් දෙක වගේ නෙත් එෆ්.එම්. – බැලුම්ගල
Source - lankachannel.us
Source – lankachannel.us
නෙත් එෆ්.එම් කිවුව ගමන් කෙනෙක්ට සිහිපත් වෙන්නේ බැලුම්ගල වැඩසටහන කියන එක වැරදි නැහැ. විමර්ෂණාත්මක වැඩසටහනක් ලෙසින් නොයෙක් විදියේ හෙළිදරවු කිරීම් සිදුකරන මේ අයට විරුද්ධව ගාල්තැන්නේ කපු මහත්තයා පෝස්ටරුත් ගැහුවා මතකයි. කොහොම වුනත් මේ වෙනකොට නෙත් එෆ්.එම් බැලුම්ගල දකුණු ආසියාවේ විශිෂ්ටතම රේඩියෝ වැඩසටහන විදියට සම්මානත් ලබාගෙනලු.


5. පාර කියන සිරස එෆ්.එම්. – සූරිය සිරස
Source -sirasa.com
Source -sirasa.com
ඇත්තම කියනවනම් එෆ්.එම් කියලා නව සංස්කෘතියක් ඇති කළේ සිරස කියන එක නිවැරදියි. සූරිය සිරස කියන්නේ සිරසේ ජනප්‍රියතම වැඩසටහනක් වුණා වගේම තවමත් බොහෝ දෙනෙක් අහන වැඩසටහනක්. ඒ ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි නම තමයි කිංස්ලි රත්නායක. කොහොමවුනත් දැන් වෙනකොට සූරිය සිරස වුනත් සිරසක් නැති විදියටයි යන්නේ කියලා සමහරු චෝදනා කරන්නත් පටන් අරන් තියෙනවා.


6. අමතක කරන්නට බැරි වෙළෙඳ සේවය
Source - slbc.lk
Source – slbc.lk
බස් එකක යනකොට එහෙම වෙළෙඳ සේවය අහන්න ලැබෙන්නේ නැති තරම්. ඒකට හේතුවකුත් තියෙනවා. වෙළෙඳ සේවයේ යන ක්ලැසික් සිංදු වලට බස් එකේ ඩ්‍රයිවර් උන්නැහේට ගැම්මක් එන්නේ නැහැ. අන්න ඒකට නැගලා යන සිංදු තියෙන වෙන චැනල් එකක් දැම්මහම ඩ්‍රැයිවර් මහත්තයාට ගියර් එක ඇදලා අරගෙන සුක්කානම හපාගෙන හැටට හැටේ එලවන්න පුලුවන්. ඒක එහෙමයි කිව්වත් තවමත් වෙළෙඳ සේවය තමන්ගේ ක්ලැසික් ගතිය තියාගෙන ඉදිරියට යන එක ගැන වෙළෙඳ සේවය අහන රසවතුන්ට සතු‍ටු වෙන්න පුලුවන්.