ජීවිතේටවත් ට්‍රයි නොකලයුතු භයානක දේවල් සඳහන් ආදර ගීත
සමහර සින්දු තියෙනවා අපිව සනසවන, තවත් සමහර සින්දු තියෙනවා අපිව රිද්දවන, ඒ අස්සේ තවත් සමහර සින්දු තියෙනවා, අහනකොට හරි ආදරණීයයි වුනාට නිවාඩුවේ කල්පනා කරලා බලනකොට මොලේ මොංගල් වෙන අදහස් තියෙන්නේ. ඒ මදිවට ඒවා ඇත්ත ජීවිතේට සමපාත කරගන්න බැලුවම මේ දේවල් කරන්න ගිහින් කොච්චර අමාරුවක වැටෙන්න පුලුවන්ද කියලා බය හිතෙන්න ගන්නවා.
අන්න එහෙම ගී පදමාලා කිහිපයක් ගැන අමුතු අදහස් ටිකක් අපි එකතු කළා මෙන්න මේ විදියට. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ සින්දු වලින් කියන ප්‍රේමණීය වගේ පේන දේවල් ඇත්ත ජීවිතේදි කරන්න ගියොත් අපිට මොන මොන විදිහෙ ඇබැද්දි වලට මූණ දෙන්න සිද්ද වේවිද කියලා..!
1. වැටෙනා කඳුලක් ගානේ ඔබවයි මට සිහිවන්නේ
වේරලියද්ද මහත්තයා මෙහෙම කියනකොට අපේ හිතටත් පුංචි දුකක් එහෙම ආවට නිවාඩු පාඩුවේ මේ සින්දුව ගැන කල්පනා කරනකොට එහෙම පොඩ්ඩක් පොඩ්ඩක් අප්සෙට් අප්සෙට් වගේ. ඇයි හද්දෙයියනේ නිකමට හිතන්නකෝ කොල්ලගේ ඇහෙන් වැටෙන හැම කඳුලක් ගානෙම මතක් වෙන්නේ කෙල්ලලු. හරි අපි මෙහෙම හිතමු යනවා කඩේට කනවා වඩේ එකක් අරගෙන, එතකොට ඇහැට රොඩ්ඩක් ගිහින් කඳුලක් එනවා. හම්මට උඩු මතක් වෙනවා කෙල්ලව. ඔහොම වැටෙන වැටෙන කඳුල ගානේ කෙල්ලව මතක් වෙන්න ගත්තම කොල්ලව බ්‍රේන් වොෂ් කලා වගේ තියෙයි. එකෙන්ම!
බැරිවෙලාවත් කොල්ලා කැම්පස් නම් අන්තරේ උද්ඝෝෂනේකට ගිහින් කඳුලු ගෑස් පාරක් එහෙම කෑවොත් ඌ මැරෙන්නේ කඳුලු ගෑස් පාරට නෙවෙයි. වැටෙන වැටෙන කඳුල ගානේ කෙල්ලව මතක් වෙලා.
2. හිඟා කකා කොලපතක් අරන් ලුණුයි බතුයි කමුකො රත්තරන්
නන්දා මාලිනී මහත්මිය මෙහෙම කියන්නේ සුනිල් ආරියරත්න මහත්තයාගේ කීම අහක දාන්න බැරි කමට කියලා අපි දන්නවා. අපිට තියෙන ප්‍රශ්න දෙයියනේ, හිඟා කකා කොලපොත් අරගෙන ලුණුයි බතුයි කන්න නම් මොන රෙද්දටද සංදුක්කේ කසාද බැන්දේ?. ඔහොම ජීවත් වෙලා මොකටද ඈ..!
හරි අපි එයාලාගේ පැත්තෙනුත් හිතන්න එපෑ. අපි හිතමු ආදරේ වැඩි කමට ලුණුයි බතුයි විතරක්ම කාලා ඉන්නවා කියලා. ඔහොම දිගටම කාලා කාලා පෝෂණ ඌනතාවයක් එහෙම ආවොත් මොන දෙයියන්ට කියන්නද?එහෙම වුනොත් හිඟා කාලා සල්ලි හොයන්න වත් ඇඟේ ශක්තිය දොයිතුවක් වත් ඉතුරු වෙන්නේ නැති වෙයි.
කොල්ලත් එක්ක ලස්සනට ජීවත් වෙලා කාටවත් අත නොපා ඉන්න හිතාගෙන හිටින කෙනා, සාරි ඉරලා ජනෙල් වලට දාපු ගෙදරක හිටං හිඟා කාලා ඉතුරු කරගත්තු සල්ලිවලින් ලුණුයි බතුයි කන්න වුනාම ආදරේ තියා කසාදෙවත් රැකිලා තියෙයිද හැබෑටම?
3. අපි ඈතට ඈතට පා නගලා ගන වනන්තරේ
අපේ කාලයේ ප්‍රේමණීයම ගායකයා වික්ටර් රත්නායකයන් තමයි මේ රෝමාන්තික ගීතය ගායනා කරන්නෙ. ඇත්තටම කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වුනාම ඔහොම කැලෑවල් අස්සේ රිංගන්න ගියාම රට්ටු මොනවා නොහිතයිද? අනික සතෙක් සර්පයෙක් එහෙම කවාගත්තොත් එහෙම හදිස්සියෙවත් බේතක් හේතක් කරගන්න කොහෙද තැනක්? ආදරේ අන්ධයි කියන්නේ ඒකනේ? හදිස්සියේ කැළේ අතරමං උනොත් කොල්ලට ගෙඩියක් කඩාගන්න ගහකට නැගගන්නවත් පුලුවන් වෙයිද?
4. වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි කවුලුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
ඉස්සර වගේ නෙවෙයි දැන් ලංකාව හරි වෙනස් ගෙවල් හදන්න පාවිච්චි කරන්නේ පරිසරයට හිතකර අමුද්‍රව්‍ය. මේ සංකල්පයේ මුලිකම අඩිතාලම දාන්නේ මිල්ටන් මල්ලවාරච්ච් මහත්තයා. ඒ මීට දශක 2 කටත් කලින්. අපිට ඒ ගැන තියෙන ශක්තිමත්ම සාක්ෂිය තමා අර උඩින් දාල තියන වීඩියෝව.
ඒ වුනාට මේ සීන් එකේ පොඩී කොස්සක් තියෙනවා. ඒ තමයි මේ දෙකෙන් විතරක් පැල්පත හදලා කවුළු දාලා දෙන්නම් කියලා කිව්වට මේවට ගල් වැලි එහෙම මික්ස් වෙන්නේ නැතුව කොහොමද ඔය කියන ඉදිකිරීම් බෝහෝම ශක්තිමත්ව නිම කරන්නේ? කොයි බාසුන්නැහේද අනික ඔව්වා හදන්නෙ?
අනේ දෙයියනේ සින්දුව අහනකොට රස දැනුනට නිවාඩුවේ වචන එකින් එක ගලෝලා වෙන වෙනම කල්පනා කරනකොට මෙහෙම සින්දු ඇහෙනකොට ඇඟ හීල්ලිලා යනවා ආයිබෝවන්ඩ. අම්මපා හා!
5. නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි
නුහුරු නුපුරුදු දුපතකට වෙලා මේ සින්දුවේ කතා නායකයා “ඔබන්නේ” කාටද කුමකටද කියලා අපිට සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා මිත්‍රවරුණි. “ඔබයි මමයි මමයි ඔබයි “ කියන එකේ එකම දේට මාරුවෙන් මාරුවට ඔබනවා කියලයි අපිට නම් හිතෙන්නේ. මේවා බොන්න ඕනේ ප්‍රශ්ණ මචන්ලා.
අනික් අතට මේ කියන විදිහට නුහුරු නුපුරුදු දූපතක “ආදරේ ගීතය” කියන්න යන එක පට්ට අනාරක්ෂිත වැඩක් නෙව. කවුද දන්නෙ ඒ දූපතේ වනචාරියො, හොරු, මංකොල්ල කාරයො, මංපහරන්නෝ, හිල්මන්ස් ලා එහෙම ඉන්නවද කියලා. ඒ නැත්නම් නපුරු වන සත්තු එහෙම. ඉතින් කොල්ලා බැඟිරි ගහලා සින්දු කියනකොට සින්දුවෙ සද්දෙ ඇහිලා ඇවිත් කෙල්ලව උස්සන් ගියොත්, නැත්නම් සත්තු පහර දුන්නොත් කාටද බ්‍රෝ මේ අවනඩුව කියන්නේ??
6. මල් කැකුලකට ආදරෙයි කියන්න
අපේ ලක්ෂ්මන් හේවාවිතාරණ මහත්තයා මේ සින්දුවෙ එක තැනක මෙන්න මෙහෙම කියනවා ඔයාලා අහලා ඇති.
ගහකොළ නටු වලට හොරෙන් – මහ රෑ ඔබෙ ළගට ඇවිත්
ඔබෙ සියොළග සිපගන්නට සුළගට හැකි නම් – ඒ සියොළග සිපගන්නට ඇයි මට තහනම්?
ඔබෙ සියොළග සිපගන්නට සුළගට හැකි නම් – ඒ සියොළග සිපගන්නට ඇයි මට තහනම්?
ඕනේ පොඩි එකෙකුට තේරෙනවා දැන් හුළඟ ඇවිල්ල අපේ ගත සිප ගත්තට අවුලක් නැහැ, සුළඟ පේන්නේ නැහැනේ කියලා. එහෙත් කොල්ලෙක් මහ රෑක ඇවිත් කෙල්ලෙක්ගෙ ගත සිප ගන්නට ගියොත් ඒ කොල්ලට වෙන්නේ එක්කෝ දත් නැතුව බත් කන්න. එහෙම නැතිනම් කෙල්ලට හදි කරන්න ආපු ග්‍රීස් යකෙක් කියලා වටේ පිටේ මිනිස්සුන්ගෙන් නල්ලාඩි ගුටි පෝරියල් කන්න.
7. පෙම් කවක් ලියනවා මම ආයේ
පෙම් කවක් ලියනවා මම ආයේ – මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වී බැලුවෝතින් – හමුවේවි සිත මාගේ
කිත්සිරි ජයසේකර අයියා මෙහෙම කිව්වට නිකමට හිතන්න පින්වතුනි ඔහොම මල් ගස් ගානේ එක එක එව්වා කුරුටු ගාන්න ගියාම ගහේ බඳ තුවාල වෙනවා, ඊට පස්සේ විවිධ ආකාරයේ ලෙඩ රෝග ඇතිවෙන්න පුළුවන්, ගහ විනාස වෙලා. රටට ගමට වැඩදායක ගහ අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඊටත් අමතරව ඔහොම ගහෙන් ගහට ගිහින් එක එක එව්වා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ලියනකොට වටේ පිටේ මිනිස්සු ඔයාට පාගල් කියලා අංගොඩට පටවන්නත් ඉඩක් තියෙනවා. අනික කවුද දන්නේ, ඔයා ඔය ගස් අස්සෙන් ජෝඩු දිහා බලන හිල්මන් කෙනෙක් කියලා හිතලා ඔයාට කුඩ පාරවල් එහෙම වදින්නත් ඉඩ තියෙනවා මචං!
ඒ නිසා කොරන දෙයක් පරිස්සමට ඈ!!
8. නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වලාකුලෙන් රුවල් දමාලා
එම් එස් ප්‍රනාන්දු මහත්තයාගේ මේ සින්දුව අහනකොට අපිට ප්‍රශ්න දෙකක් එනවා. එක්කෝ එම් එස් මහත්තයා කුඹියෙක් වගේ පොඩි වෙන්නොනේ. එහෙම නැතිනම් නෙලුම් මල් මහ විසාල වෙන්න ඕනේ. එහෙම නැතුව කොහොමද මෙහෙම විස්ම කර්ම වැඩ කරන්නේ.
මේ වගේ ඔලුව කණපිට හැරවෙන සින්දු අපේ ගීත කලාව ඇතුලේ අනන්ත අප්‍රමාණව ඇති. මේ කියලා තියෙන්නේ එයින් කීපයක් විතරයි.