කොරියාවේ සුන්දර පහන් කූඩු උත්සවය


මේ වෙද්දි බුද්ධෝත්පාදය සිදුවෙලා වසර 2561ක් ඉක්මවා අවසානයි. හැම වෙසක් දාකම වගේම ඔබ මේ පාරත් වෙසක් උත්සවය වෙනුවෙන් සැරසිලි සිදු කරලා අවසන් වී ඇති. එහෙමත් නැතිනම් තවමත් ඉතසිතින් සමරන්නට ලැහැස්ති වෙනවා ඇති. ඉතින් ලංකාවේ විතරද මේ විදියට බුදු තෙමගුල සමරන්නට ලක ලැහැස්ති වෙන්නේ? නැහැ. ඉන්දියාව, චීනය, කොරියාව, වියෙට්නාමය, භූතානය, තායිලන්තය වගේ බෞද්ධ රටවලුත් තවමත් බුදු තෙමගුල සමරනවා.
බුදු තෙමගුල සමරන මේ රටවල් අතරින් දකුණු කොරියාව විශේෂිත වෙනවා. මෙයට හේතුව තමයි, ඔවුන් ලොව කොහෙවත් නැති තරම් අතිශය සුන්දර ආමිස පුජාවක් පැවැත්වීම. ඒ ආමිස පුජාව තමයි, පුදුම තරම් ලස්සන සහ විචිත්‍රවත් වෙසක් කූඩු තනා බුදුන්ගේ උපත සැමරීම.

Yeon Deung Hoe උත්සවය

Korean vesak lanterns
Source – anniegoessomewhere.wordpress.com
යෙඔන් ඩියුන්ග් හෝ එහෙමත් නැතිනම් Lotus Lantern Festival  කියන්නේ මෙහෙම පහන් කූඩු තනමින් සහ පෙරහර පවත්වමින් සමරන උත්සවයක්. බුදු රජාණන් වහන්සේගේ උපත සමරන්න තමයි ඔවුන් මේ උත්සවය සංවිධානය කරනු ලබන්නේ. වසර 1200කට වඩා වැඩි ඉතිහාසයක් තිබෙන මේ උත්සවය වෙසක් සමයේදීම තමයි පැවැත්වෙන්නේ. අපි වෙසක් දිනයේ බුදු උපත සැමරුවත් කොරියානුවන් බුදුන්ගේ උපත හැටියට සළකන්නේ චීන ලූනා කැලැන්ඩරයේ හතරවැනි මාසයේ අට වැනි දිනයයි. මේ දිනයත් වෙසක් දිනයට බොහොම ආසන්නයේ යෙදෙන දිනයක් තමයි.
කාලයක් තිස්සේ පැවතගෙන එන මේ චාරිත්‍ර නිසා බුදු තෙමගුල සහ Lotus Lantern Festival කියන්නේ දෙකක් නොව එකක් බවට මේ වෙනකොට නිතැතින්ම පත් වෙලා තිබෙන බව අපට නිර්ණය කල හැකියි. නමුදු මේ නිසා උත්සව දෙකටම ආලෝකයක් මිසක් අඩුපාඩුවක් නම් කවදාවත් සිදු වෙලා නැති බවයි අපේ මතය වන්නේ.

විවිධ තේමාවන්ගෙන් යුක්ත සුන්දර පහන් කූඩු

Korean vesak lanterns
Source – brainberries.co
Lotus Lantern Festival සඳහා විවිධාකාරයේ තේමා පාදක කරගෙන පහන් කූඩු නිර්මාණය කෙරෙනවා. ඒ අතර බුද්ධ චරිතය ආශ්‍රිත සුවිශේෂී අවස්ථා සහිතව නිර්මාණය කර ඇති පහන් කූඩුද, මිත්‍යා කතා වල එන මකරුන් සහ පියාඹන අශ්වයින් වැනි සතුන්ගේ අනුරූද, සුවිශේෂී හැඩයට තැනූ සුන්දර කුඩා පහන් කූඩුද මේ උත්සවය පුරාම දැකගන්න පුළුවනි. මේ පහන් කූඩු දැල්වීම මගින් අඳුරට එළියක් ලබාදී ලෝකය යහපත් තැනක් කිරීම සංඛේතවත් කරනු ලබනවා.
ප්‍රධාන වශයෙන් කොරියාවේ සෝල් නුවර පදනම් කරගෙන කෙරෙන මේ සැමරුමේදී, 100,000කට වැඩි පහන් කූඩු රැගත් කොරියානු ජනතාවකින් යුතු පෙරහරක් සෝල් නගරයේ වීදි දිගේ ගමන් කරන බව සඳහන්.



කොහොමද මේ කූඩු නිර්මාණය කරන්නේ?

Korean vesak lanterns
Source – pinterest.com
ඔවුන් මේවා මෙතරම් සුන්දර විදියට නිර්මාණය කරන්නේ කම්බි වලින් තනන ලද සැකිලි උපයෝගී කරගෙනයි. තමන්ට අවශ්‍ය විදියට නවා ගන්නට හැකි වීමත්, බරින් අඩු කමත්, අමුද්‍රව්‍ය වල සුලභ බවත් කියන හේතු නිසා ඔවුන් මේ ක්‍රමවේදයන් උපයෝගී කරගන්නා බවයි පැවසෙන්නේ. ඉතාම මනස්කාන්ත අයුරින් නිමවෙන මේ පහන් කූඩු අතරින් බොහොමයක් ඒවා යන්ත්‍රාණුසාරයෙන් ක්‍රියාකරන ඒවාද වනවා.
පහතින් දකින්න ලැබෙන්නේ ලෝටස් ලැන්ටර්න් උත්සවයේදී දකින්න ලැබෙන සිත්ඇදගන්නා සුළු පහන් කූඩු කිහිපයකුයි.

1. බෝධිසත්ව රුව සමග ගමන් ගන්නා මකර රුව
Korean vesak lanterns
Source – kienthuc.net.vn
කම්බි වලින් සැකිල්ලක් ලෙස තනා එය තෙල් කොළ හෝ සව් කොළ වලින් ආවරණය කර වර්ණ ගන්වා ඇති මේ කූඩුව රැගෙන යාම පහසු වීමට රඳවා තබා ඇත්තේ රෝද සහිත අටල්ලක් මතයි.

2. බුදු රූ, ඇත් රූ සහ මකර රූ
Korean vesak lanterns
Source – kidsfuninseoul.wordpress.com
සව් කොළ අලවා වර්ණවත් කරන ලද මේ කූඩු වල එක විශේෂත්වයක් තිබෙනවා ඒ තමයි ඔවුන් කුඩා කැටයම් සහ විශේෂිත කොටස් පින්සල් වලින් වර්ණ ගන්වා තිබීම.

3. චීන කූඩු
Korean vesak lanterns
Source – llf.or.kr
ස්වස්තිකය සහිත මේ චීන කූඩු සමහර අවස්ථා වල ලංකාවෙත් විකිණීමට තබා තිබෙනවා ඔබ දැක ඇති. නමුත් ඒවා මෙතරම් පරිපූර්ණ ආකාරයට නිර්මාණය කල ඒවා නොවෙයි.

4. පුෂ්පයන් මැද වැඩසිටින භික්ෂුව
Korean vesak lanterns
Source – view42.tistory.com
මල් ගොඩක් මැද්දේ වැඩ සිටින මේ භික්ෂු රුව කොයිතරම් සිත් ගන්නා සුලුද? සියුම් ලෙස වර්ණයන්ගෙන් මුසුවී, ආලෝකමත්වී එය මවන්නේ ඉතාමත් මනස්කාන්ත දර්ශනයක් නොවේද?

5. නෙලුම් මැද ඇවිදින කුඩා දරුවා
Korean vesak lanterns
Source – pinterest.com
කුඩා දරුවෙකුගේ හැඩය සහිත කූඩුව සහ වටේ ඇති නෙළුම් මල් හැඩයේ පහන් කූඩු නිර්මාණය කිරීමට කෙතරම් සංයමයක් අවශ්‍යද?

6. බෞද්ධ කතා වල එන චරිත ඇසුරින් තැනු කූඩු
Korean vesak lanterns
Source – ravenoustravellers.com
ප්‍රධාන ධාරාවේ බෞද්ධ කතන්දර වලට අමතරව අතිරේක චරිත ඇසුරිනුත් මේ ඉහත ආකාරයේ කූඩු  නිර්මාණය කරනු ලබනවා.

7. අටපට්ටම් හැඩැති කූඩු
Korean vesak lanterns
Source – ravenoustravellers.com
විශේෂිත හැඩ වලට තනපු කූඩු වලට අමතරව සාම්ප්‍රදායික අටපට්ටම් කූඩුත් නැත්තේම නැහැ. නමුත් ඒවා ලංකාවේ කූඩු වලට වඩා විචිත්‍ර ලෙස සකසා තිබෙනවා.

8. ඝාන්ටාර , මත්ස්‍යයින් සහ සාම්ප්‍රදායික මහායාන හැඩතල
Korean vesak lanterns
Source – planetdepos.com
මහායාන බෞද්ධ පන්සල් වල ඇති තඹ ඝන්ටා හැඩය කියන්නේ බොහෝ කොරියානු වෙසක් කූඩු වලට යොදාගන්න සුලභ හැඩයක්. නිර්මාණය කරන්නට ඇති පහසුව සහ විශාලත්වය නිසා ඔවුන් මේ හැඩ තෝරා ගන්නවා ඇති.

9. මකර හිස
Korean vesak lanterns
Source – thesoulofseoul.net
නිකම්ම කම්බි සැකිල්ලකින් තැනුවත් ඔවුන් භාවිතා කර ඇති වර්ණ සහ හැඩතල නිසා මේ අපුරු ත්‍රිමාණ හැඩැති හිස අපූරු සුන්දරත්වයක් ගෙන එනවා.

10. බොදු කියමන් සහිත කූඩු පේලි
Korean vesak lanterns
විවිධ වර්ණ වලින් නිර්මාණය කල මේ චීන පහන් කූඩු වල අඩුපාඩුවට බෞද්ධ කියමන් සහිත ටැග එල්ලා තිබීම නිසා එහි වටිනාකම තවත් ඉහල වෙනවා.