හෙඩ්ෆෝන් ගැන
හෙඩ්ෆෝන් කියන්නෙ අපි බොහෝදෙනෙකුට එදිනෙදා උවමනා වෙන දෙයක්. සමහරුන්ට හෙඩ්ෆෝන් ඕන කරනවා රස්සාව කරන්න. තවත් අයට ගේම් ගහන්න. තවත් අයට කම්මැලිකමට සින්දු අහන්න. තවත් අයට කොලිටි හෙඩ්ෆෝන් ඕන කරනවා සංගීත ක්ෂේත්‍රයේ නිෂ්පාදන කටයුතු කරන්න. මේ විදියට බලද්දි හෙඩ්ෆෝන් ගොඩක් අයට එක එක විදියට ප්‍රයෝජනවත් වෙනවා. මේ කියන්න යන්නෙ එහෙම ප්‍රයෝජනවත් වෙන හෙඩ්ෆෝන් ගැන ඔබ දැනගෙන ඉන්න ඕනෙ දේවල් ටිකක්.
කනට සෙට්වෙන විදි
1. In-Ear Headphonesසහ Earbuds
Source – cnet.com
කනේ ඇතුළු කුහරයටම කිඳාබහින හෙඩ්ෆෝන් අයිති වෙන්නෙ මේ කැටගරියටයි. ඒ කියන්නෙ දැනට තියෙන හෙඩ්ෆෝන් ලෝකෙ වැඩිම ප්‍රමාණයක් හෙඩ් ෆෝන් අයිති වෙන්නෙ මේ කැටගරියටයි. බොහෝවෙලාවට මේව වෙළඳපොලට එන්නෙ කනට කිඳා බහින ප්‍රමාණ වෙනස් කරවන එක එක හැඩයේ රබර් ටිප්ස් ටිකකුත් එක්කමයි. මොකද ඒ විදිහට ආවම ක්‍රියාශීලි මිනිසෙකුට වුනත් මේව ගැලවීමකින් තොරව තබාගැනීමේ හැකියාව ලැබෙනවා. මේ විදියට හදපු උපාංග වලට අවට ඝෝෂාව මගහරින්නට උපන් ගෙයි හැකියාවක් තියෙනවා. ඒ වගේම ගුණාත්මක භාවයෙන් සහ මිලෙන් උසස් මේවායේ හඬ ගුණාත්මක භාවය ප්‍රමාණයෙන් විශාල හෙඩ්ෆෝන්වලට හොඳ තරඟයක් දෙන්නටත් සමත්.
ඉයර් බඩ්ස් වල පොඩි වැටියක් තියෙනව කන වටේ සෙට් වෙන්න. ගාණ අඩු වුනාට මේවයින් එන කොලිටිය නං අඩුයි. බොහෝමයක් පෝටබල් උපාංග එක්ක ලැබෙන්නෙ මේ උපාංග තමයි.
2. Over-ear
Source – ebay.com
අරවුන්ඩ් ඉයර් හෝ ෆුල්සයිස් හෙඩ්ෆෝනයක් විදියට මේක හඳුන්වනවා. කන් හොඳින් සංවෘත වෙන්න කුෂන් කරපු ඉයර් කප්ස් මේවයෙ තියෙනවා. කතාවෙ හැටියටනං ඉතිං සංගීතය හොඳින් අත්විඳින්න තියෙන හොඳම විදිය මේක තමයි. පැසිවු නොයිස් රිඩක්ෂන් කියන නමින් හඳුන්වන අවට ශබ්දය මගහැරීමේ හැකියාව ඒ කුෂන් කරපු කප්ස් නිසා මේකට අනිවාර්යෙන්ම ලැබෙනවා.
3. On-ear
Source – ebay.com
හැඩයෙන් නම් ඕවර් ඉයර් හෙඩ්ෆෝන්වලට සමානයි තමයි. හැබැයි කලින් එකේ විදියට කන සීල් වෙන්නෙ නෑ. කන වටේට තමයි කුෂන් එකසෙට් වෙන්නෙ. හොඳ ගුණාත්මක භාවයක් ශබ්දයේ තිබුනාට බේස් එක ටිකක් අඩුයි. ඒ වගේමයි මේක දාගෙන ඉද්දි ඔයාට වටපිටාවෙ ශබ්ද ඇහෙන්න ඉඩ තියෙනව වගේම ඔයා අහන දේත් වටපිටාවට ඇහෙන්න ඉඩ තියෙනවා.
පවතින කැටගරි
1. Wired headphones
Source – digitalmusicnews.com
වයර්ඩ් හෙඩ්ෆෝන්ස් ඉතින් අපි හැමෝම දන්න දේනෙ. මිලිමීටර් 3.5 ජැක් එකක් හරහා ෆෝන් එකට සෙට්වෙන මේ හෙඩ්ෆෝන් විශේෂය පොඩ්ඩක් ගැස්සිලා ගියේ ප්‍රසිද්ධ සමාගමක් ඒ ජැක් එක අයින් කළාට පස්සෙයි. හැබැයි ඉතින් කට්ටිය ඒ හේතුවෙන් ඒ සමාගමට පොඩි දෝෂාරෝපණේකුත් දැම්මා. හැබැයි ඉතින් තාම වයර්ඩ් හෙඩ්ෆෝන් ජැක් වඳවෙලා ගිහින් නැහැ.
2. TrueWireless Headphones
Source – ebay.com
ඔය එළිපහලියෙ ගැවසෙන, ස්පෝට්ස් කරන අයට ගැලපෙනම දේ තමයි මේ. බ්ලූටූත් හරහා ඔබට අදාළ උපාංගයට සම්බන්ධ වෙලා ඔබට පැටළිලි නැති හඬ අත්දැකීමක් ලබාදෙන්න මේක සමත්. ඇපල් මේ තාක්ෂණයට නිකුත් කරපු ඉයර් බඩ්ස් නිසා තමයි කට්ටිය කලින් හෙඩ්ෆෝන් ජැක් නැති දුකට කෑගැහුවෙත්. කොහොම හරි මේ තාක්ෂණය ටිකක් මිල අධික වුනාට භාවිතයට තියෙන පහසුව නම් ඉහළයි.
3. Wireless Headphones
Source – ebay.com
වයර් නෑ කිවුවට මේවයෙ වයර් නැත්තෙම නෑ. වයර් එකකින් ෆෝන් එකකට කනෙක්ට් නොවුනට මොකද මේවයෙ වයර් එකකින් ඉයර් බඩ්ස් දෙක එකිනෙකට සම්බන්ධ වෙලයි තියෙන්නෙ.
4. Neck-sitting
Source – amazon.com
මේක ලංකාවෙ එච්චර ප්‍රසිද්ධ නෑ. හෙඩ්ෆෝන් දැම්මම කොණ්ඩෙ අවුල් වෙන නිසා හෙඩ්ෆෝන් දාන්න අකමැති අයට තියෙන කොලිටි විසඳුමක් තමයි මේ. ඔලුව උඩ තියෙන බෑන්ඩ් එක වෙනුවට බෙල්ලට සෙට් වෙන බෑන්ඩ් එකක් ගැනයි මේ කියන්නෙ.
විශේෂ හැකියාවන්
1. Noise Cancelling and Sound Isolating
Source – ebay.com
පිටතින් ඇහෙන ඝෝෂාවත් එක්ක හෙඩ්ෆෝන් දාගෙන හිටියත් වැඩක් නැති තත්ත්වයක් තමයි තියෙන්නෙ. Noise Cancelling වලින් මූලිකව සිද්ධ වෙන්නෙ මෙහෙමයි. හෙඩ්ෆෝන් එකේ තියෙන පොඩි මයික්‍රොෆෝන් එකකින් අවට ශබ්දය රෙකෝඩ් කරනවා. ඊටපස්සෙ ඒ සද්දෙ රිවර්ස් කරලා ස්පීකර් අවුට් එකෙන් ඔබේ කනට නිකුත් කරනවා. ඒකෙන් සද්දෙ කැන්සල් වෙලා යන එක තමයි සිද්ධ වෙන්නෙ.
Sound Isolating සිද්ධ වෙන්නෙ ඒ වගේ යාන්ත්‍රණයකින් නෙමෙයි. ඒකට හොඳම උදාහරණය තමයි ඉන් ඉයර් හෙඩ්ෆෝන්ස්. ඉන් ඉයර්ෆෝන්ස් කන ඇතුළටම කිඳා බහින හින්දා ශබ්දයක් පිටතට නිකුත් වීමක් සිද්ධ වෙන්නෙ ගොඩක් අඩුවෙන්.
2. Volume Limiting
Source – ebay.co.uk
ඔන්න මේකනං අසන්නාගේ සුබසිද්ධිය වෙනුවෙන් සිද්ධ කරන දෙයක්. කනට අවුල් යන්න පුළුවන් ශබ්ද ගොඩදාන එක තමයි මෙයින් සිද්ධ වෙන්නෙ. ඒ කියන්නෙ කනට හානියක් වෙන්න පුළුවන් අධි හඬක් හෙඩ්ෆෝනයෙන් නිකුත් වීම පාලනය කරන එක. මේවයේ උපරිමය බොහෝවිට වෙන්නෙ ඩෙසිබල් 85යි. මේවා ගොඩක් නිපදවන්නේ ළමයින්ට වුනාට, මේවා පාවිච්චි කළ යුත්තේ ළමයින් පමණක්ම නොවෙයි.
3. Bone Conduction
Source – hiconsumption.com
කන් බෙරය පසුකරලා ඇතුළු කනට ශබ්දය කාන්දු කරන්න තමයි මේ උපාංගය නිපදවලා තියෙන්නෙ. බෝන් කන්ඩක්ෂන් හෙඩ්ෆෝන් සෙට්වෙන්නෙ කම්මුලට පොඩ්ඩක් උඩින් කන කිට්ටුවටයි. මේක හරියන්නෙ නිතර මහමග යන අයට. මොකද ඉයර්ෆෝන් ගහගෙන යනකොට අවට ශබ්දය ඇහෙන්නෙ නැති වෙන්න පුළුවන්. මේ උපාංගයෙන් කන් ආවරණය නොවෙන නිසා එවැනි අවස්ථාවෙක අනතුරු වෙන්න තියෙන ඉඩත් අවම වෙනවා.
4. Surround Sound
Source – kotaku.com
හොඳ හයිඑන්ඩ් හෙඩ්ෆෝන්ස් (ගේමින් හෝ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් භාවිතා කරන) වල තියෙන ෆීචර් එකක් තමයි මේ. වැඩේ සිද්ධ වෙන්නෙ සාමාන්‍ය හෝම් තියටර් පද්ධතියක තියෙන ක්‍රමයටම විවිධ මානයන්ගේ ශබ්ද තනි තැනකින් නොගිලිහෙන විදියට කන තුළට කිඳා බැහීමත් සමගයි.
5. Microphones and Controls
Source – amazon.in
මේකත් බොහෝවිට දැකගන්න පුලුවන් වෙන්නෙ ගේමින්වල තමයි. මේ මයික්‍රොෆෝන් පහසුකම නිසා අනිත් නෙට්වර්ක් කරගත්තු ගේම් යාළුවොත් එක්ක ගේම් එකේ තත්ත්වය කතා කරගන්න පුලුවන්. ඒ වගේම ස්මාට්ෆෝන් එක්ක එන හෙඩ්ෆෝන්වලත් කෝල් ගැනීමේදී පහසුකමක් විදියට මේ මයික්‍රොෆෝනයත් හඬ පාලකයත් හොඳින් ක්‍රියාකරනවා.
හෙඩ්ෆෝන් ගැන ටෙක්නිකල් කතා
1. Stereo vs. Mono
Source – stackexchange.com
ස්ටීරියෝ ශබ්දයේ තියෙන්නෙ කන් දෙකට වෙනස් ලයින් දෙකකින් සද්ද ඇහෙන විදියට. ඒකෙන් වෙනත් මානයකින් ශබ්දය ඇහෙන විදියට හැඟීමක් අසන්නාට ඇතිවෙනවා. මොනෝ සවුන්ඩ් එකනං ඒ විදිය නෙමෙයි. කන් දෙකෙන්ම ඇහෙන්නෙ එකම දෙයක්.
2. Frequency Response
Source – centerpointaudio.com
හැම බ්‍රෑන්ඩඩ් හෙඩ්ෆෝන් ඩිසයින් එකකටම තියෙනව ඒකට අදාළ ශබ්ද පරාසයක්. සද්දෙ ලොකුවටම ඇහෙන එකෙන් සවුන්ඩ් කොලිටිය මනින්න බැහැ. සාමාන්‍යයෙන් මිනිස් කනට ඇසෙන්නේ හර්ට්ස් 20ත් කිලෝ හර්ට්ස් 20ත් අතර නිසා ඒ ගැනත් ඔලුවෙ තියාගෙනම අහන දෙයක් අහන එකයි හොඳ.
3. Sensitivity
Source – theheadphonesguide.net
හෙඩ්ෆෝන් එකකට ඇදගන්නා බලයට අනුපාතව හෙඩ්ෆෝන් එකෙන් පිටතට දෙන ඩෙසිබල් ප්‍රමාණය අතර අනුපාතයට තමයි හෙඩ්ෆෝන් එකක සෙන්සිටිවිටිය කියන්නෙ. එතකොට ලබාගන්නා මිලිවොට් එකකට නිකුත් කරන ඩෙසිබල් ප්‍රමාණය හැටියට තමයි ඒක මැනෙන්නෙ. සාමාන්‍යයෙන් පෝටබල් උපාංග වෙනුවෙන් යෝජනා වෙන්නෙ මිලිවොටයට ඩෙසිබල් 100ට වැඩි හෙඩ්ෆෝන් දෙකක් තමයි.
4. Impedance
Source – selfbox.jp
මේක මනින්නෙ ඕම්වලින්. මේකත් මුලින් කියපු සෙන්සිටිවිටිය හරහා මනින දෙයක්. මේ මැනෙන්නෙ විද්‍යුත් ප්‍රතිරෝධය. සාමාන්‍ය භාවිතයට සරිලන ගුණාත්මක හෙඩ්ෆෝන් දෙකක මේ මිණුම ඕම් 16ත් 64ත් අතර තියෙන්න ඕන.