The Fast and the Furious (Sri lanka)
ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් (The Fast and the Furious) කියන්නෙ අති ප්‍රසිද්ධ චිත්‍රපටයක්. ලෝකෙ වගේම ලංකාවෙත් හොඳටම ජනප්‍රිය වුනු මේ චිත්‍රපටය ලංකාවෙ හැදුවොත් මොනව වෙයිද කියල අපි හිතුවා. අන්න ඒ හින්දා තමයි මේ ආටිකල් එක ලියන්නෙ. එහෙම හැදුවොත් සිද්ද වෙන්න පුළුවන් වෙනස්කම් මොනවද කියල හොයපු අපිට හම්බවෙන දේවල් කියවලා බලන්න. ඔයාලගෙ තියෙන අදහසුත් අපිට කියන්න. අනාගතේ ඕක හදන කෙනෙකුටවත් ප්‍රයෝජනවත් වෙන්නැතෑ.
1. නම
ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් වගේ තීම් එකක ෆිල්ම් එකක් මීට කලින් ලංකාවෙ හැදිලා නැහැ. ඉතිං හැදෙන පළවෙනි ෆිල්ම් එක සුපිරි නමක් එක්ක මාකට් එකට දාන්න ඕන. සුපිරි නම මොකද්ද කියල හිතද්දි අපිට හිතන්න වෙනවා වේගය, ත්‍රාසය ඔක්කොම තියෙන නමක්. අන්තිමට අපි හිතුවෙ “නස්කෘට් සහ ගිනි ටකරං” වගේ මෙලෝ යකෙකුට නොතේරෙන නමක් මේකට දාන්න.
2. ප්‍රධාන චරිත
ප්‍රධාන චරිත බෙදාගන්නයි දැන් තියෙන්නෙ. වින් ඩීසල්ගෙ චරිතෙට ලොවෙත් සෙට් වෙන්නෙ සංජන් සාමනායක මහත්තයා. එයා ඔඩිෂන් වලදි ෆේල් වුනොත්, එයා වින් ඩීසල්ගෙ බඩ දාපු පින්තූරයක් පෙන්නල හරි ගේමට එන්ටර් වෙනවමයි. පොලිස්කාර පෝල් වෝකර් තමයි හේමාල් රණසිංහ. මිෂෙල් රොඩ්‍රිගස්ගෙ චරිතෙ කරන්නෙ දිල්හානි අසෝකමාලා. ජෝර්දානාගෙ කැරැක්ටරේ කැරැක්ටර් එකට හරියන්නෙ හිමාලි සිරිවර්ධන. ටයිරීස් ගිබ්සන්ගෙ චරිතෙ යනව බන්දු සමරසිංහට. මොකද ලංකාවෙ ෆුල් සීරියස්ම විතරක් ලොවෙත් තියෙන්නෙ නැහැනෙ. වානිජ චිත්‍රපටයක් නං ජෝක් තිබිය යුතුමයිනෙ. ලූඩාක්‍රිස්ගෙ කැරැක්ටරේ කරන්න හරියන්නෙ ඉතිං අඛිල ධනුද්ධර වගේ ඩයල් එකක් තමයි. ලූකාස් බ්ලැක් කරපු ෂෝන් බොස්වෙල්ගෙ චරිතෙ යන්නෙ රොෂාන් රවීන්ද්‍රට. ගාල් ගැඩෝගෙ කැරැක්ටරේ කරන්නෙ මේනකා පීරිස්. ටිකක් මහත වුනාට මොකද එයාට තියෙන්නෙත් වොන්ඩර් වුමන්ගෙ ඊශ්‍රායල් කට් එකමයි. ඩ්වේන් ජොන්සන් හෙවත් ද රොක්ගෙ කැරැක්ටරේට රොෂාන් රණවනව නාකි කරලා අරගන්නවා. අන්තිම ෆිල්ම් ටිකේ දකින්න ලැබුනෙ නැති ඊවා මෙන්ඩෙස්ගෙ කැරැක්ටරේට අපි අන්ජුලා රාජපක්ෂව තෝරනවා.
3. වාහන ටික
ඔය එවුවයෙ මහ ජාතිවල වාහන තිබ්බට අපිට එවුව කරන්න බැහැ. අපේ රටෙත් මහ ජාතිවලිවන් වාහන තිබුනට මේ වගේ නාස්තිකාර වැඩකට ඒ වාහන රෙන්ට් කරන්න ඒ උත්තමයො කීයටවත් කැමති වෙන්නෙ නෑ. ඒ වගේම අපේ තියෙන ලෝ බජට්වලින් ඔය වාහනයක් තියා ඩමියක්වත් ගන්න වෙන්නෙත් නෑ. අන්න ඒ නිසා ස්පොන්සර්ලවත් ගොඩදාගන්න එක්ක ඉන්දියන් කාර් ටිකක් දාලා වැඩේ සෙට් කරගන්නව.
4. ප්ලොට් එක
දැන් ඔය අපේ රටේ ගරාජ් කාරයොන්ට කීයටවත් නයිට් රේස් වගේ දේවල් කරන්න බෑ. එතකොට සියළු බලවේග ක්‍රියාත්මක වෙලා ඒව නවත්තනවා. අපේ රටේ ඔවුව කරන්නනං තාත්ති විධායක බලය තියෙන කෙනෙක් වෙන්න ඕන. අන්න ඒ නිසා අපි මේ කාර් කතාවට ප්ලොට් එක ගහන්නෙ වෙනස් විදියකට. බීච් එකේ ඉඳන් දියුණු වෙන්න හීන මව මව හිටපු කොල්ලො සෙට් එහෙකට වල්ලපට්ට බෑග් එකක් හම්බෙනවා. මූද දිගේ පාවෙලා ආපු මේ වාසනාව විකුණලා දාලා කොල්ලො පස්දෙනා ගන්නව ලක්ෂ විස්සෙ ඉන්දියන් කාර් පහක්. ඉතිං එතන ඉඳන් මේ නිකං හම්බෙච්ච කාර් එක්ක කතාව ගෙති ගෙතී යනවා. ඒ කියන්නෙ එක එක සීක්වල් එකේ එක එක සීන්නෙ. මුල් එකේ අලුත් කාර් ටිකෙන් රේස් පදින්න ගිහින් පොලීසියට කට්ටි පනින හැටි. දෙවනි එකේ පොලිස් කාරයයි රංජගේ නංගියි සෙට් වෙන හැටි. තුන් වෙනි එකේ කොල්ලටයි කෙල්ලටයි එන බාධක සහ පොලිසා කාර් කල්ලියට එක්වීම. හතරෙ කාර් කල්ලිය පළමු අපරාධයට එරෙහිව නැගී සිටීම. පහේදි කාර් කල්ලිය ත්‍රස්ථවාදය තුරන් කිරීම. හයේ කාර් කල්ලිය පිටරට කාර් කල්ලියකට චැලේන්ජ් කිරීම. හත කාර් කල්ලියේ එකෙකුගේ පළමු මරණය සහ දුෂ්ඨයකුගේ ආගමනය. අටේදි කාලයාගේ අවෑමෙන් රීයුනයිටඩ් කාර් කල්ලිය.
5. කරන්නෙ කවුද?
රෝයි ද සිල්වා කියන්නෙ ලොවෙත් මේකටම සෙට් වෙන ඩිරෙක්ටර්. වාහනේ පිටිපස්සෙන් බන්දු දුවන්න, බන්දුගෙ පිටිපස්සෙන් වාහනේ දුවන්න, පුස් බයිසිකල්වල ලෑන්ඩ්ෆෝන් හයි කරන්න වගේ දේවල් කරන්න පුළුවන් විශ්වකර්ම ඩයල් එකක් ලංකාවෙදි කරන මේ වැඩේට ඕන. අනික පොරව ගත්තම වියදම අඩුයි. මොකද කතාව, තිරපිටපත, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, කැමරාකරණය සහ සහය අධ්‍යක්ෂණයත් කරලා ෆිල්ම් එකේ චරිත දෙකකුත් පොරම ගොඩදානවනෙ.
6. අමතර කෑලි
ඔය හොලිවුඩ් කොපි වුනා කියල සෙල්ලං බෑ හරිය. ලංකාවෙ නං තියෙන්න ඕන විශේෂ කෑලි ටිකක් තියෙනවා. පොලීසියේ එකේ කාර් කල්ලිය එලෝන අතරෙ රංජාගෙ නංගිව මුලින්ම පොලිස්කාරයගෙ ඇස ගැටෙන අවස්ථාවට රන් සමනල ජෝඩුව වාගේ සින්දුව දාලා ඇල්ටො එක වටේ නටන සීන් එකක් ඇඩ් වෙන්නම ඕන. ජෝකර්ලා එකෙක් මදියි. බන්දු සමරසිංහට මදිපාඩුවට අර කොමඩි කිං කියල හිතං ඉන්න පිංපොං බෝලෙත් සෙට් වෙන්නම ඕන. පොර ඔලුවට එංජින් ඔයිල් ටිකක් හරි වක්කරගෙන හිනාවෙන්නැතෑ. හැබැයි පුතෝ ගරාජ් එකේ හිටිය කියල බෑ හිමාලි සිරිවර්ධනගෙ ඇඟේ මජං පාරවල්නං තියෙන්න බෑ ඕං හොඳේ.