වාහන වලට කැමති ඔබේ මතකය කාටූන් ඇසුරින් අවුස්සගන්න

 
හැමෝම වාහන වලට ආසයි. කවුද ආසා නැත්තේ. අපි හැමෝටම අපේ ජීවිතේ එකම එකපාරක්වත් වාහනයක් අයිති කරගෙන ඉන්න කැමැත්තක් තියෙන්න ඇති. නිකමටවත් හිතෙන්නේ නැද්ද අපේ පොඩි කාලේ අපි බලපු කාටුන් වල තිබ්බ වාහන වලින් අපේ මනසට කරපු බලපෑම නිසා තමයි, අද අපි සමහරු වාහන පිස්සෝ වෙලා ඉන්නේ කියලා?
එහෙම ඔබට හිතෙනවා නම් අපි කැමතිම වාහන හොයාගෙන අපිට තවමත් යන්න පුළුවන් අතීතෙට. බය වෙන්න එපා. ටයිම් මෙෂින් එකකින් නෙවෙයි, අපේ අනිවා පොස්ට් එකෙන්.

1. ලයිට්නින් මැක්වීන් (Lightning McQueen)
Greatest Cartoon Vehicles
Source – youtube.com/Lightning McQueen
අඩංගු වැඩසටහනThe Cars 1, 2, 3
ලයිට්නින් මැක්වීන් කියලා කියන්නේ හුරුබුහුටි රතු පැහැති මෝටර් රථයකට. හැබැයි විශේෂයකට තිබෙන්නේ මේ වාහනය තමයි වසර 2006 දී තිරගත කල The Cars චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ. ජනප්‍රියත්වය තිබෙන අවධියේදී ලැබෙන ප්‍රසිද්ධිය සහ ඉන් පසුව ඒවා අහිමි කල ඇතිවන තත්ත්වය ගැන කියවෙන The Cars කතාවේදී, ලයිට්නින් මැක්වීන් මෝටර් රථයක් කියලා අපිට අමතක වෙන තරමට නිර්මාණකරුවන් එයට හැඟීම් එකතු කරලා තිබෙනවා. කාටුන් එක අවසාන වෙනකොට ලයිට්නින් මැක්වීන් අපේ සිතේ වීරයෙක් වෙලා හමාරයි කියලා නම් කියන්නම ඕනේ.

2. බැට්මොබිල් (Batmobile)
Greatest Cartoon Vehicles
Source – pinterest.com
අඩංගු වැඩසටහනBatman – The Animated Series
1992 සිට 1995 දක්වා විකාශය වුනු බැට්මෑන් ඇනිමේටඩ් සීරිස් එකේ තමයි මේ වාහනය තිබෙන්නේ. කතාවේ හැටියට “අර්ල් කූපර්” තමයි අපි දකින බැට් මොබිල් එක නිර්මාණය කරන්නේ. අපි ආසාවෙන් බලනකොට අධිවේගී මෝටර් රථයකින් ගිහින් එක එක වීරකම් වල යෙදෙන බැට්මෑන් වගේම සුවිශේෂි හැඩයක් සහිත ඔහුගේ මේ “බැට්මොබිල්” එකත් පුංචි කාලේ අපේ හිත් වල රැඳුනා.
 
3. වැකී රේසස් (Wacky Races)
Greatest Cartoon Vehicles
අඩංගු වැටසටහනWacky Races
අපි 90 දශකයේදී DynaVision (දැන් ART TV) චැනලයෙන් මෙය නැරඹුවාට ඇත්තටම මේ වැකී රේසස් කාටුන් එක මුලින් ම විකාශය වෙලා තියෙන්නේ 1968 දී. එකකට එකක් වෙනස් පිස්සු හැදෙන පෙනුමින් යුතු කාර් එකොළහක් විවිධ අමුතුම අමුතු පරිසර වලදී තරඟ වදිනවා අමුතුම අමුතු ටයිටල් එකක් වෙනුවෙන්. ඒ තමයි “World’s Wackiest Racer”. ඒ ඔක්කොටම වඩා මට්ලීගේ පල් හිනාවත් ඔය වාහන එක්කම අපිට ඒ කාලේ මතක හිටියා. මේකේ වාහන එලවන කට්ටියයි එයාලගේ වාහනයි ගැන මතක නැතිනම් පහත ලැයිස්තුව කියවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. 😊
ඩික් ඩස්ටඩ්ලි සහ මට්ලී ගේ Mean Machine.
01. ස්ලෑග් සහෝදරයින්ගේ Boulder Mobile එක.
02. Gruesome Twosome ගේ Creepy Coupe.
03. ප්‍රොෆෙසර් පැට් පෙන්ඩින් ගේ The Convert-a-Car.
04. රෙඩ් මැක්ස් ගේ Crimson Haybailer.
05. පෙනිලොපී පිට්ස්ටොප් ගේ Compact Pussycat
06. සාජන් බ්ලාස්ට් සහ ප්‍රයිවට් මීක්ලි ගේ Army Surplus Special.
07. ඈන්ට් හිල් මොබ් කණ්ඩායමේ The Roaring Plenty.
08. ලූක් සහ බ්ලබර් බෙයාගේ Arkansas Chuggabug.
09. පීටර් පර්ෆෙක්ට් ගේ Turbo Terrific.
10. රූෆස් රෆ්කට් සහ සෝටූත් ගේ Buzz Wagon.

පොඩි සීන් එකක්-
නිකමට හිතුවද මේ වැකී රේසස් වාහන සෙට් එක ඇත්ත ලෝකෙට ආවොත් කොහොමද කියලා. එහෙම හිතපු අය කරුණාකරලා මෙන්න මේ වීඩියෝ එකත් බලන්න හරී!

4. ෆ්ලින්ස්ටෝන්ස් කාර් (Flintstone’s Car)
Greatest Cartoon Vehicles
Source – funkidslive.com
අඩංගු වැඩසටහනFlintstones
ගල් රෝල් දෙකක් එකට එකතු කරලා ලී කොටයකින් සම්බන්ධ කරපු ෆ්‍රෙඩ් ෆ්ලින්ට්ස්ටෝන්ගේ ෆුට්මොබයිල් එක ඒ කාලේ අපේ හිතේ තිබ්බ වාහනයක් තමයි. අපි පොඩි කාලෙදී පදින සෙල්ලම් කාර් වල බ්රේක් ගහන්නේ කකුල් දෙක බිමට තියලා නිසා මේ වාහනේ තාමත් අපේ හිතේ රැඳී තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා.

5. මිස්ට්‍රි මෙෂින් (The Mystery Machine)
Greatest Cartoon Vehicles
Source – funkidslive.com
අඩංගු වැඩසටහනScooby Doo Cartoon Series
ස්කුබී ඩු කාටුන් මාලාවේ කස්ටියගේ වාහනේ නම තමා මිස්ට්‍රී මෙෂින් කියන්නේ. නම මිස්ට්‍රි මෙෂින් වුනාට මෙලෝ මිස්ට්‍රියක් නැති මේ වෑන් එකේ ඇහැ කඩලා යන පිස්සු හැදෙන ලුක් එකක් තියෙන පේන්ට් පාරක් නම් දීලා තියෙනවා. ඒ කාලේ ස්කුබියා එක්ක යන රහස් පරීක්ෂක වැඩ දකින අපිට මේ වෑන් එක දැක්කත් බඩ පිරෙනවා.

6. තන්ඩර්ටෑන්ක් (Thunder Tank)
Greatest Cartoon Vehicles
Source – turtlepedia.wikia.com
අඩංගු වැඩසටහනThunder Cats
තන්ඩේරියන් කෙනෙක් වෙන පැන්ත්‍රෝ (Panthro) පරණ අභ්‍යාවකාශ යානයක කොටස් එකතු කරලා සකසන තන්ඩර් ටෑන්ක් එක ඒ කාලේ අපි බලපු කාටූන් වාහන අතරින් අමුතුම ගතියක් තිබ්බ එකක්. ඒ කාලේ තන්ඩර් කැට්ස් කාටුන් මාලාවේ ලයනෝ (Lion-O) ට වගේ මායා බල සහිත කඩුවක් සහ තන්ඩර් ටෑන්ක් එකක් හිමි කර ගන්න තිබ්බ නම් ඒක තමා පරම සැපත කියලා හිතුවේ. ඕවා ගැන ඉස්කෝලේ ගිහිනුත් කතා වුණා.

7 . ටර්ටල් වෑන් (Turtle Van)
Greatest Cartoon Vehicles
Source – turtlepedia.wikia.com
අඩංගු වැඩසටහනTeenage Mutant Ninja Turtles
විද්‍යාඥවරයෙක් ලෙස අවංකව වැඩ කරන බැක්ස්ටර් ස්ටෝක්මන් (Baxter Stockman) ව මැස්සෙක් බවට පත් වෙන්නේ ඔහු Shredder යටතේ වැඩ කරන්න ගත්තට පස්සෙයි. නින්ජා ටර්ටල්ස්ලා තමන්ගේ වෑන්  එක එහෙමත් නැතිනම් “Party Wagon” එක විදියට භාවිතා කරන මේ වෑන් එක ලබාගන්නේ බැක්ස්ටර් ගෙන තමයි. එතැන් පටන් අපේ බලපු මේ කාටුන් එකේ තියෙන සියලුම වීර ක්‍රියා වලට අපේ ටර්ටල්ස්ලා සෙට් එක බහින්නේ මේ වාහනෙන් තමයි.

8. ශාර්ක් පෘෆ් සබ්මැරීන් (Shark-Proof Submarine)
Greatest Cartoon Vehicles
Source – tintin.wikia.com
අඩංගු වැඩසටහන – The Adventures Of Tintin Red Rackham’s Treasure
ටින්ටින් බලලා තිබ්බට අපිට ඒ කාලේ දෙදෙනෙකුට විතරක් යන්නට හැකි සබ්මැරීන් එකක් කියන්නේ හරිම පුදුමයක් වුණා. කතාවේ හැටියට මේ සබ්මැරීන් එක හදන්නේ ප්‍රොෆෙසර් කැල්කියුලස් විසින්. ඒ කුප්‍රකට නාවික කපිතාන් රෙඩ් රැකම් ගේ නිධානය හොයාගන්නටයි. කතාවේ තියෙන හැටියට අඩි 900ක් ගැඹුරේ පැය දෙකකට ඔක්සිජන් ගබඩා කරගෙන යන්න මේ සබ්මැරීන් එකට පුළුවන් ලු.
Cover Image Source – en.tintin.com