ඒකාකාරී ශ්‍රී ලාංකික මියුසික් වීඩියෝ වලට වෙනසක් ගෙනාපු සුපිරිම මියුසික් වීඩියෝ

ලංකාවේ මෙතෙක් කල හොඳම සින්දු මොනවද කියලා ඇහුවොත් අපිට දෙන්න උත්තර ඕනේ තරම් තියෙනවා. ඒ වගේම ඒවා ගැන වාද විවාදත් ඕනේ තරම් තියේවි. නමුත් හොඳම මියුසික් වීඩියෝ මොනවද කියලා ඇහුවොත්? ඒකත් ලේසි පහසු ප්‍රශ්නයක් නෙමෙයි නේ?
අන්න ඒ නිසා තමයි අපි මේ ලැයිස්තුව නිර්මාණය කලේ. ඒ වගේම මෙහිදී අපි සල්ලි වැඩියෙන්ම වියදම් කරලා හදපු මියුසික් වීඩියෝ වෙනුවට අපිට හොඳම වෙනසක් ගෙනාපු මියුසික් වීඩියෝ ගැනයි අවධානය යොමු කලේ.
මේ ලයිස්තුවේ ගීත ගැන ඔබේ විවේචන තියෙන්න පුළුවන්. ඒක අපි දන්නවා. එකිනෙකාගේ රුචිකත්වය එකිනෙකාට වෙනස් නේ. ඉතින්  ඔබට මීට වඩා හොඳ මියුසික් වීඩියෝ ගැන අදහසක් තියෙනවා නම් ඒවාත් අපේ පෝස්ට් එකේ කොමෙන්ට් එකක් විදියට දැම්මොත් අපේ කියවන යාළුවන්ගේ දැනගැනීමට ගොඩක් වටීවි.

1. ඕයේ ඔජායේ
ගායනය – Gypsies
ගීතය නිර්මාණය වෙන්නේ වසර 20කටත් කලින්. නමුත් ඒ කාලේම ගීතයට නිර්මාණය වෙන මියුසික් වීඩියෝව ඒ කාලේ සංගීත ලෝකය හෙල්ලුවා කිව්වොත් හරි. සින්දුව ආරම්භ වෙන්නේ බින්තැන්නට ගමනක් ගිය ජිප්සීස් කණ්ඩායම ඒ ගැන විස්තර කියන විදියට. ඒකේ කොටස් විදියට තමයි ගීතය දිග හැරෙන්නේ. රූකාන්ත සහ චන්ද්‍රලේඛා ජෝඩුවත් මේ ගීතයේ සිටිනා’තර ගීතයේ පද මාලා නිර්මාණය වෙන්නේ හේමසිරි හල්පිට මහත්මයා අතින්.


2. මගේ නේ
ගායනය – සූර්යා දයාරුවන්
ගීතය කියන්නේ සූර්යා දයාරුවන් වුනාට ගීතයට රූප රචනා කරන්නේ තිසර ඉඹුලාන. තිසර කියන්නේ කවුද කියලා මතක නැතිනම් නිනෝ ලයිව් මතක් කරගන්න. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ තිසර. ඉතින් සිනමාත්මක හැකියාවෙන් හැඩවුණු මේ ගීතයේ තනුව හින්දි වුනත් ඒබව දැනෙන්නේ නැති තරමට සුන්දරව ගයන සුර්යාගේ හඬ සහ එහි පදමාලාව නිසා මේ ගීතය අපේ හොඳම මියුසික් වීඩියෝ ලයිස්තුවට එකතු කරන්න හිතුවා.


3. මගේ සුදු බෑණන්ඩිට
ගායනය – මාමයි බෑණයි
රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීර ශිල්පීන් දෙන්නා විසින් ගායනා කරනු ලබන මේ ගීතය තුලින් දිගහැරෙන්නේ දෙබසක්. මේ ගීතය රූප රචනාවක් විදියට නිර්මාණය වෙන්නේ 90 දශකයේදී. බලන්න මේ මාමයි බෑණයි අතරේ ඇතිවෙන දෙබස් වලදී මුහුණෙන් දක්වන හැඟීම් එහෙම. ඉතාම සුන්දර විදියට අවංකව හැඟීම් පළකරන ඉතාම සිත්ගන්නාසුලු රූප රචනාවක් තමයි මේක.


4. රන් කුරහන් මල
ගායනය – භාතිය සංතුෂ්
රන් කුරහන් මල ගීතය අපේ ලැයිස්තුවට වැදගත් වෙන්නේ ගීතයේ තිබෙන විසිතුරු බව නිසාම නෙවෙයි. ලංකාවේ මුලින්ම අනුග්‍රහය දක්වන පාර්ශවය ගීතයේ කොටසක් කරගත්තේ “රන් කුරහන් මල” තමයි. භාතිය සංතුෂ් ඒ කාලේ කරළියට ඇවිත් එතරම් කලක් නැති වුනත් ඔවුන්ගේ ගමන ස්ථාවර කරන්න මේ ගීත ඉවහල් වුනා කියලයි අපි නම් හිතන්නේ.


5. ඔබ යන්න
ගායනය – මිලින් රූපසිංහ
කිසිවක් නොදැන මේ ගීත වීඩියෝව නරඹන්නට ගත්තොත් සමහර විට මේ චිත්‍රපටයක ගීතයක් කියලා හිතේවි. ඒකාකාරී මියුසික් වීඩියෝ තිබ්බ කාලෙක මේ ගීතයත් එක්ක එහි අධ්‍යක්ෂක වෙච්ච වාසව බදුගේ ගෙනාපු වෙනස කදිමයි. ඒ ලක්ෂණ අනුගමනය කරමින් ඊට පස්සේ ගීත රාශියක් නිර්මාණය වුනත් වාසව බදුගේ ගෙනාපු වෙනස හා සම කරන්න කාටවත් බැරි වුණා කියන එකයි අපේ අදහස.


6. රහස්
ගායනය – මිලින් රූපසිංහ
ගීතය නිර්මාණය වෙන්නේ හරියට කෙටි චිත්‍රපටයක් වගේ. හිතා ගන්න බැරි තරම් බැරෑරුම් නමුත් මේ සමාජයේ වෙන සිදුවීමක් තමයි පාදක වෙන්නේ. ගීතය කියන මිලින් වගේම ගීතයේ ප්‍රධාන චරිතය කරන ධර්මප්‍රිය ඩයස්වත් අධ්‍යක්ෂක අයේෂ් විජේරත්න නියම විදියට හසුරවන නිසා මේ ගීතය සිනමාත්මක බවින් දිදුලනවා.


7. දෙවියන්ගේ බාරේ
ගායනය – Drill Team සමඟ සනුක වික්‍රමසිංහ
ගීතය ගායනා කරන්නේ ඩ්‍රිල් ටීම් එක්ක සනුක. කිසි කුණුහරුපයක් නැති ලස්සනට ගලන රැප් එකක් එක්ක සුන්දර ගීතයක්. විශේෂයෙන්ම මේ ගීතයේ මියුසික් විඩියෝ එක ගැන කියන්න ඕනේ. මේ මියුසික් වීඩියෝ එක එක ටේක් එකකින් අරගත්තු එකක් විදියටයි පෙනෙන්න තියෙන්නේ. අනිවා අපි හිතන්නේ මේ වර්ගයේ තිබෙන එකම මියුසික් වීඩියෝව මෙය බවයි. අපි වැරදිනම් කරුණාකර නිවැරදි කරන්න.


8. කුස්සියේ
ගායනය – Gypsies සහ පවුලේ සාමාජිකයින්
මේ ගීතයේ වීඩියෝවේ විශේෂිතයි කියල මතු කරන්න එහෙමටම දෙයක් නැහැ. එහෙත් පවුලක් විදියට තවමත් එකම විදියට එදා සිටම සිටින ජිප්සීස් අයියලා මල්ලිලා යාළුවො සෙට් එක මේ වීඩියෝ එකේ ඉන්නවා. ඉතින් අපි ඒ පවුලක් විදියට ඉදිරිපත් වෙලා ජිප්සීස්ලා කරන මේ වැඩේට හරිම මනාපයි. ඒ නිසා අපි ඒ සින්දුවත් මේ විදියට ඇතුලත් කරනවා.


9. වෛරයේ ගිනිසිළු
ගායනය – සචින්ත පුලස්ති ඇතුළු Civil Voice
ටිකක් වෙනස්! වෙලාවකට මේකේ මොනවගේ කතාවක්ද කියන්න හිතන්නේ කියලත් හිතෙනවා. මලානික වර්ණ බොහොම තීව්‍ර විදියට යොදමින් ඊටම ගැලපෙන විදිහට රංගන ශිල්පීන් ගීතයේ තේරුම තවත් වැඩි කරන විදියට කරන නිරුපණයත් හරිම කදිමයි. ඒ නිසා මේ ගීතයත් අපි මේ ලැයිස්තුවට එකතු කරනවා.


10. ආලේ
ගායනය – Daddy
ජිප්සීස්ලා වගේම ඩැඩීලා කියන්නෙත් වෙනස්ම විදිහේ මියුසික් වීඩියෝස් වලින් අපි හමුවට එන බෑන්ඩ් එකක්. එයාලගෙ ආලේ ගීතයේ මියුසික් වීඩියෝ එකත් ඒ වෙනසට හොඳ උදාහරණයක්. උසාවියක් ඇතුලේ සිද්ධ වෙන සිදුවීම් පෙළක් හැටියට නිර්මාණය කරල තියන මේ වීඩියෝවත් මතකයේ රැඳී හිටින විදිහට නිර්මාණය කරපු අපූරු නිර්මාණයක් කියල කියන්න පුලුවන්.


11. ආයෙත් මොනවත් ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්
ගායනය – සංගීත් විජේසූරිය
මේ ගීතය අපිට අහන්න ලැබෙන්නේ සහශ්‍රය මුලදී වගේ. කණට මියුරු තනුවක් එක්ක සංගීත්ගේ රංගනයෙන් හැඩවුණ පොඩි ඇනිමේෂන් පාරක් එක්ක කරපු වීඩියෝ එකක් විදියට තමයි මේ ගීතය අපේ මතකයේ තියෙන්නේ. නමුත් ඒ කාලේ අපිට ඒ ඇනිමේෂන් බොහොම රියල් ගතියට දැනුණට දැන්නම් එහෙම දැනෙන්නේ නැහැ.


12. එන ඡන්දෙට මං ඉල්ලන්නයි හිතාන ඉන්නේ
ගායනය – සුමිත් මන්දනායක
ඇස් දෙක වහගෙන මේ සින්දුව අහන්න එපා. සුනිල් එදිරිසිංහ කියලා රැවටෙයි. සුමිත්ගේ හඬ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ වගේමයි. ඒ වගේම තමයි මේ ගීතයේ රූප රචනයත් බොහොම සුන්දරව 50 දශකයේ කවුන්සලේට යන කෙනෙකුගේ චරිතයක් පාදක කරගෙනයි දිවෙන්නේ. හැබැයි මේ ඔක්කොම සිහිනයක් කියලා ඔබට දැනෙන්න ගන්නේ අවසානයේදී තමයි. ගීතය වගේම රූප රචනයත් වෙනස් නිසා අපි මෙම ගීතයත් මේ ලැයිස්තුවට එක්කාසු කරන්න හිතුවා.


13. මිතුරේ කියන්
ගායනය – A.K.A සහ ප්‍රිහාන්
මේ මියුසික් වීඩියෝව ටිකක් වෙනස් ආකාරයේ එකක්. එයට හේතුව තමයි සම්පුර්ණ වීඩියෝවම විකාශනය වන්නේ රිවර්ස් ආකාරයට වීම. විශේෂයෙන් ප්‍රිහාන් සහ අනෙකුත් ශිල්පීන් විශේෂ වෙහෙසක් මේ ගීතය නිසා දරපු බව එකල පත්‍ර වල පවා සඳහන් වුනා. ඒ වගේම මේ ගීතය ලංකාවේ මේ ආකාරයේ එකම ගීතය ලෙසටත් වාර්තා වනවා.


14. මේ අද දවසයි
ගායනය – හර්ෂ බුලත්සිංහල සහ රනිල් මල්ලවාරච්චි
ගීත ක්ෂේත්‍රයට පය තැබූ මුල්ම කාලයේ අලුත් අලුත් දේවල් කරන උණ කාටත් තියෙනවානේ. ඉතින් මේ තියරිය රනිල් හර්ෂ වෙනුවෙනුත් වෙනස් වුනේ නැහැ. ඔවුන් විසින් එළිදක්වපු අද දවසයි වීඩියෝවේ ඒ නවතාවය, අලුත් දෙයක් කරන්නට ඔවුන් තුළ වන ගැම්ම ආදී මේ සියල්ලම එකට කැටි වෙලා තිබෙනවා. අපි හොඳම මියුසික් වීඩියෝ ගොන්නේ අන්තිම අයිතමය විදියට මේ දෙපලගේ ඒ සුන්දර වීඩියෝව තෝරාගත්තේ අන්න ඒ නිසයි.