බස් එකක යනකොට දැනගෙන ඉන්න ඕන

සාමාන්‍යයෙන් ලංකාවේ බස් ගැන කතා කරනකොට ඕන කෙනෙක් කියන්නේ “අපෝ එපාවෙනවා” කියල තමයි. ඇත්තටම මගී ජනතාවගෙන් ඇහුවොත් ලංකාවේ බස් ගැන හොඳක් කියන කෙනෙක් ඉන්නේ කලාතුරකින් තමයි. අපි මේ කියන්නේ ප්‍රයිවට් බස් ගැන. ලංගම ගැන නං නරක වගේම හොඳත් අහන්න ලැබෙනවා. ඇත්තටම ඒ තරමටම ලංකාවේ පෞද්ගලික බස් රථ සේවය අවුල්ද? මේ අප්‍රසාදය එන්නේ පොඩි දේටත් ස්ට්‍රයික් කරලා මගී ජනතාව වාත කරන නිසා විතරමද? හරි, ඒ ගැන අපි අදහස් දක්වන්නේ නෑ. හැබැයි මගී ජනතාව විදියට අපි දැනගෙන ඉන්න ඕන මගී අපේ අයිතිවාසිකම් ගැන. එතකොට මගියෙක් විදියට අපිට බස් එකකදී අසාධාරණයක් වෙනවා නං කට ඇරලා ඒ ගැන කතා කරන්න පුලුවන්. එහෙම කතා කරපු වෙලාවක කොන්දොස්තර මහත්තයා හරි ඩ්‍රයිවර් මහත්තයා හරි කිව්වොත් “පව් නොදී වෙන බස් එකක යන්න” කියලා, ඒ ගැන පැමිණිලි කරන්නත් තැන් ලංකාවේ තියෙනවා. හරි. අයිතිවාසිකම් වලින් පටන් ගමු.

1. කොන්දොස්තරගේ ලොකු සීන් බලන්න ඕන නෑ
Your Bus Travel Rights
Source – themetrognome.in
බස් රථයක කොන්දොස්තරවරයාට හරි රියැදුරුවරයාට හරි කොයිම වෙලාවකවත් මගියෙක්ට ප්‍රකෝප කිරීමකින් තොරව පරුෂ වචනයෙන් අමතන්න, ප්‍රචණ්ඩ ප්‍රතිචාර දක්වන්න බෑ. ඒ කියන්නේ සරලවම කිව්වොත් ගේම ඉල්ලන්න තියාගන්න ඔට්‍ටු නෑ. හැබැයි මේක දෙපැත්තටම පොදුයි. ඒ කියන්නේ මගියෙක්ටත් බෑ හිතෙන හිතෙන විදියට බස් එකේ කොන්දොස්තර හරි ඩ්‍රයිවර් හරි එක්ක වලි දාගන්න.

2. ටිකට් එක ගත්තද?
Your Bus Travel Rights
Source – thegoan.net
මෙන්න මේක ටිකක් සීරියස් පොයින්ට් එකක්. ඒ කියන්නේ දැන් ගොඩක් බස් වල බස් එකට නැග්ගට පස්සේ යන්න කලින් ටිකට් නොදුන්නත්, යන්න පටන් ගත්තහම හරි ටිකට් එක දෙනවා. හැබැයි තව බස් තියෙනවා ටිකට් කඩන්නෙ නැතුව ෂේප් එකේ සල්ලි විතරක් අරගෙන යන. පොතේ හැටියට නං ටිකට් කඩන්නෙ නැතුව යන්න බෑ. ඒත් ඉතින් බස් එකේ යන අපිත් ගේම ඉල්ලන්න යන්නෙ නෑ, සල්ලි දීලා නිකං ඉන්නවා කොන්දොස්තරට හොඳ නං අපේ මොකෝ කියලා. හැබැයි සමහර අවස්ථා තියෙනවා අනිවා ටිකට් ඉල්ලන එක හොඳයි. ඒ කියන්නේ එක්කෝ කොන්දොස්තර වැඩියෙන් ගාණ කපන්න හැදුවොත් වගේ. ඒ හින්දා මතක තියාගන්න, ටිකට් එකක් ඉල්ලන එක තමන්ගේ අයිතිය.

3. ටිකට් එක හරියට තියෙන්න ඕන
Your Bus Travel Rights
Source – lumaresearch.com
දැන් ඔහොම ටිකට් නොදී සල්ලි විතරක් අරගෙන බස් එකක යන වෙලාවක බැරිවෙලාවත් ඉස්සරහ ටික්කෝ එහෙම ‍රැකගෙන ඉන්නවා දැක්කොත් කොන්දොස්තර කරන්නේ දඩිබිඩි ගාලා ටිකට් පොතක් කොහෙන් හරි අරගෙන කට්ටියටම ටිකට් දීගෙන දීගෙන යනවා. හැබැයි මතක තියාගන්න. අපිට දෙන ටිකට් එකේ අපි බස් එකට නැග්ග හෝල්ට් එකේ ඉඳන් අපි බහින හෝල්ට් එක, ඒ වෙනකල් අපෙන් අය කරපු ගාස්තුව, දවස, බස් එකේ අංකය කියන හැම දේම තියෙන්න ඕනෑමයි.

4. ඉතුරු සල්ලි කෝ?
Your Bus Travel Rights
Source – campaignbrief.com
දැන් කොන්දොස්තරවරු බර බරේ දාන තැනක් තමයි මගියෝ ඉතුරු සල්ලි අරගෙන එන්නෙ නැති එක. අපිත් ඉතින් දැනගන්න ඕන රුපියල් දහයේ දුරට පන්දාහේ පටියක් ඇදලා දෙනවා වගේ වැඩ නොකර ඉන්න. හැබැයි කොන්දොස්තරට ගේම ඉල්ලන්න බෑ දහයේ දුරට සීයෙ කොළයක් මාරු කරන්න බෑ කියලා. ඒ වගේ වෙලාවට ගොඩක් වෙන්නේ “බහිද්දි දෙන්නං” සීන් එකනේ. එතකොට අපි ගේම ඉල්ලන එක හරි නෑ “එහෙම බෑ, දැන්ම ඉතුරු ඕන” කියලා. මොකද කොන්දොස්තරට මාරු සල්ලි මවන්න බෑනේ. හැබැයි එකක්. අපි අනිවා කියන්න ඕන ටිකට් එකේ අනික් පැත්තේ ලියලා දෙන්න කියලා දෙන්න තියෙන ගාණ. එහෙම කරන්නේ මේකයි. සමහර බස් වල සමහර කොන්දොස්තර මහත්තුරු ඉන්නවා ඇත්තටම මාරු සල්ලි දෙන එක අමතක වෙනවා. සමහරු කපටි කමට අමතක කරනවා. ආන්න ඒ වගේ වෙලාවක අපිට සාක්ෂියක් තියෙන එක වටිනවා.

5. මට බාගෙ ටිකට් එකකින් යන්ඩ ඇහැකිද මල්ලි?
Your Bus Travel Rights
Source – coloribus.com
බස් වල ඔය ඇන්ටිලා සහ කොන්දොස්තරලා අතර වලි යන තව තැනක් තමයි බාගෙ ටිකට්. මේකට හැබැයි මිනිස්සුත් වග කියන්න ඕන. ඇයි අවුරුදු දාසයේ එවුන්වත් පෙන්නලා බාගෙ ටිකට් ගන්න බැරිද කියලා අහනවනේ. දැන් සම්මුතියේ හැටියට නං අවුරුදු 3 ට වැඩි සහ 12 ට අඩු දරුවෙක්ට කඩන්න ඕන අනිවා බාග ටිකට් එකක්. ඒක අයිතිවාසිකමක්. අවුරුදු 12 ට අඩු දරුවෙක්ට සම්පූර්ණ ටිකට් එකක් කඩන්න කොන්දොස්තර මහත්තයා උත්සාහ කරනවා නං ඒකට අපිට විරුද්ධ වෙන්න පුලුවන්.

6. ජෙට් ගියර් එක දාලා යන්නේ!
Your Bus Travel Rights
Source – learninglog.carleton.ca
බස් රේස් ගැන අපි ඕන තරම් අහලා දැකලා තියෙනවනේ. අස්ස රේස්, කාර් රේස්, බයික් රේස් කැලේ බස් රේස් වලට. මේ වෙලාවට බස් එකේ හැමෝම ඉතින් දෙය්යෝ බුදුන් සිහි කර කර තමයි ඉන්නේ. හැබැයි මතක තියාගන්න, එහෙම රේස් යන බස් එකක, හරියටම කියනවා නං අනාරක්ෂිත විදියට ධාවනය කරන බස් එකක නම් ඔබ ඉන්නේ බස් කොන්දොස්තරවරයාට හරි රියැදුරුවරයාට හරි වහාම කියන්න පුලුවන් හෙමිහිට යන්න කියලා. ඒක අහන්නෙ නැති නම් කෙලින්ම අර බස් එකේ මගී ප්‍රවාහන අධිකාරියේ නොම්බරේ ගහලා තියෙන්නේ. ඒකට කතා කරන එක තමයි තියෙන්නේ. ඒක අපේ අයිතියක්.

7. හලෝ මම ඉන්නේ ඔයාලගෙ ගෙවල් කිට්‍ටුව!
Your Bus Travel Rights
Source – worldofbuzz.com
දැන් වාහනයක් ධාවනය කරන අතරෙදි ෆෝන් කෝල් ගන්න එක නීති විරෝධියි කියලා දන්නවනේ. එතකොට බස් එකේ ඩ්‍රයිවර් මහත්තයටත් ඒ නීතිය අදාළයි. ඒ හින්දම අපිට ඒ වගේ අවස්ථාවක විරුද්ධ වෙන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. මොකද එහෙම අනාරක්ෂිත විදියට රිය පදවන එකෙන් ඩ්‍රයිවර් මහත්තයා අනතුරේ දාන්නේ බස් එකේ යන හැමෝගේම ජීවිත. ඒ විතරක් නෙවෙයි, ඔය නිදිමතේ බස් එළවන, සුක්කානම අත ඇරලා බුලත් විට ඒදන ගමන් බස් එළවන ඩ්‍රයිවර් මහත්තුරු ගැනත් අනිවාර්යයෙන්ම ඒ මොහොතේදීම පියවරක් ගන්න එක අපේ ඇඟට ගුණයි. එක්කෝ කෙලින්ම ඩ්‍රයිවර්ට හරි කොන්දොස්තරට හරි දැනුම් දෙන්න ඕන. එහෙමත් බැරි නම්, ඒ බස් එකේ යන එක ජීවිතේ ෂුවර් නැති වැඩක් නම් බස් එකෙන් බැහැලා කෙලින්ම අදාළ අංශ වලට පැමිණිලි කරන්න ඕන.

8. කොට කොට යන බස්
Your Bus Travel Rights
Source – infolanka.com
ඔය ලංකාවේ සමහර රූට් වල යන බස් තියෙනවා, බස් එකේ ඉඳගෙන යනවට වඩා ඉක්මනට බස් එකෙන් බැහැලා පයින් ගියත් යන්න පුලුවන්. හැබැයි ඒකට විරුද්ධ වෙන්නත් මගී අපිට අයිතියක් තියෙනවා කියලා අමතක කරන්න එපා. ගොඩක් වෙලාවට දැකලා ඇති බස් වල ගහලා තියෙනවා ගමනාරම්භක ස්ථානයෙන් පිටත් වෙන වෙලාව සහ ගමනාන්තයට ලඟා වෙන වෙලාව. එහෙම නැතත් බස් එකක් කොට කොට යනවා නං, කෙලින්ම අපිට අදාළ තැන්වලට පැමිණිලි කරන්න පුලුවන්. මොකද හැම බස් එකකටම නියමිත කාලයක් දීලා තියෙනවා අදාළ දුර ප්‍රමාණය කවර් කරන්න. ඒ හින්දා තමන්ට ඕන විදියට කොට කොටා, නිදිමතේ බස් එළවන්න බෑ.

9. ඒසී දැනෙන්න ෂටර් එක පොඩ්ඩක් ඇරගන්න මල්ලි
Your Bus Travel Rights
Source – autolanka.com
සාමාන්‍යයෙන් ඒ සී බස් එකක ටර්න් එකේ සෙනඟ අඩු නං කරන කුප්ප වැඩක් තමයි ඒ සී එක අඩුම කරලා දාන එක. එක්කෝ බ්ලෝවර් එක ඕෆ් කරලම දානවා. මිනිස්සු ටිකක් වෙලා කන් කෙඳිරි ගාලා, එක්කෝ කොන්දොස්තරට බැණලා ගේමටත් එක්ක කියලා හිතාගෙන ෂටර් ඇරගෙන යනවා. ඒක නෙවෙයි කරන්න ඕන. බස් එකේ එකෙක් හිටියත් නියමිත ටර්න් එකට යන බස් එකක් නං, කොන්දොස්තරට හරි ඩ්‍රයිවර්ට හරි අපි කියන්න ඕන ඒසී දාන්න කියලා. එහෙමත් බැරි නං අදාළ තැන්වලට පැමිණිලි කරන්න වෙනවා. මේකම අනික් පැත්තටත් තියෙනවා. බස් එක ඇතුලේ අයිස් මිදෙන ලෙවල් එකට ඒසී වැඩියි නම් ඒ ගැනත් කතා කරන්න ඔබට පුලුවන්. හැබැයි එකක් “මට හෙම්බිරිස්සාව, ඒ හින්දා ඒසී අඩු කරන්න” කියන්න අපිට බෑ. මොකද බස් එකේ යන්නෙ අපි විතරක් නොවෙන නිසා.

10. පොල් පටෝලා තව දෙල් ගෙඩි දෙකතුනකුත් ඔබලා!
Your Bus Travel Rights
Source – sundaytimes.lk – Indika Handuwala
දැන් ඔය සාමාන්‍ය බස් එකක නං අපිට නිශ්චිතවම මෙන්න මෙච්චරයි ගෙනියන්න පුලුවන් කියලා නීතියක් අපි දන්න තරමින් නෑ, තිබ්බත් ඔය වෙලාවට ගැණලා බලන්නද? ඒත් ෆුට් බෝඩ් එකේ සෙනඟ එල්ලගෙන ගියොත් අනිවා පොලිසියට බස් එක අල්ලන්න පුලුවන්. ඒ වගේම තමයි කොන්දොස්තර කියනවනේ “ඔය උස මහත්තයා පොල්ල අල්ලගෙන පිටිපස්සට යන්න” වගේ කතා. එතකොට ඇත්තටම බස් එකේ අපිට පහසු ආකාරයට යන්න, ඒ කියන්නේ කකුල් දෙක තැන් දෙකක තියාගෙන, තැන් දෙකකින් අත් දෙක තියාගෙන යන්න ඉඩ නැත්තං කෙලින්ම කොන්දොස්තරට කියන්න පුලුවන් “මෙතනින් වෙන යන්න ඉඩක් නෑ” කියලා.
හැබැයි ඉන්ටර්සිටි බස් වල කතාව ඔයිට වෙනස්. ඉන්ටර්සිටි බස් එකක සෙනඟ දාන්න පුලුවන් සීට් ගාණට විතරයි. ඒකත් පොඩි රෝසා බස් එකක නං පිටිපස්සෙ සීට් එකට හතරකට වඩා ඔබන්න බෑ. දැන් අර ලොකු සීට් එකයි ජම්පින් සීට් එකයි අතර ඉඩටත් කාවහරි ඔබන ලෙවල් එකට සෙනඟ පටව ගන්නවා කියන්නේ අර සීට් වල වාඩි වෙලා ඉන්න අයටත් කරදරයක්නේ. ඒ වෙලාවට අනිවා අපිට කතා කරන්න පුලුවන්.

11. ඩිස්ටි ඩිඩිං!
Your Bus Travel Rights
Source – lankaholidays.com, thriftyfun.com
බස් එකේ රේඩියෝ එක හරි ටීවී එක හරි ඕඩියෝ ප්ලේයර් එක හරි දාලා තියෙන එකට අපිට එකපාරටම විරුද්ධ වෙන්න බෑ. මොකද බස් එකේ යන්නේ අපි විතරක් නෙවෙයිනේ. හැබැයි ඒකටත් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදියට බස් එක දෙදරණ ගෝසාවක් එන විදියට මේවා ක්‍රියාත්මක කරනවා නං අපිට අයිතියක් තියෙනවා සද්දේ අඩු කරන්න කියලා ඉල්ලන්න. හරිම නීතිය තමයි බස් එකක ශ්‍රව්‍ය උපාංගයක් ක්‍රියාත්මක කරන්න පුලුවන් උපරිම ඩෙසිබල් 80 සීමාවෙන් මෙහා කියන එක.
ඔය අපි කිව්වේ ශබ්දයෙන් වෙන කරදරේ ගැනනේ. සමහර දුර බස් තියෙනවා, අර ඉස්සරහම උඩ හයි කරලා තියෙන ටීවී එකේ දාන්නෙම අම්මට සිරි වෙන අසබ්බිය චිත්‍රපටි. ආය පොඩි එකෙක් එහෙම ලඟ තියාගෙන ගියොත් විනාසයි. ආන්න එහෙම අවස්ථාවකත් අපිට පූර්ණ අයිතියක් තියෙනවා ‘ඔය කුණුහබ්බ පෙට්ටිය වහලා දාන්ඩ පුතේ’ කියලා කොන්දොස්තර මහත්තයාට කියන්න.

12. සූටි සොට් එකක් දාගත්තා අය්යෙ!
Your Bus Travel Rights
Source – skyscrapercity.com
බස් එකේ රියැදුරු මහත්මයා හෝ කොන්දොස්තර මහත්මයාට කොහොමටවත් බස් රථයේ රාජකාරි කරන අතරේ හරි ඊට කලින් හරි රහමෙර, ඒ කිව්වේ මේ මත් වෙන ජාති පාවිච්චි කරන්න බෑ. එහෙම කරලා තියෙනවා නං ඒකට අදාළ තැන් හොය හොය ඉන්න ඕන නෑ, පොලිසියට වුනත් පැමිණිලි කරන්න පුලුවන්.

13. අතවර, වද හිංසා, වාත සහ ඇණ
Your Bus Travel Rights
Source – youtube.com
දැන් සාමාන්‍යයෙන් බස් වල අපිට බොහොම වෙලාවට හම්බෙනවා ගැහැණු පාර්ශවයේ අයට කරදර කරන්න ලෑස්ති වුණු ඩයල්. එතකොට කණ සාක්කුවට වැටෙන්න ෂොට් එක දාගෙන ඇවිත් බස් එකේ ඉන්න අනික් අයට වාත වෙන ඩයල්. එතකොට ඇ‍ඟේ ගෑවුණත් ගේම ඉල්ලගෙන මරාගන්න එන ඩයල්. ආන්න ඒ වගේ වෙලාවක අපි කරන්න ඕන මේ කට්ටිය එක්ක වලි දාගන්න යන එක නෙවෙයි. අපි කෙලින්ම කතාකරන්න ඕන බලයලත් පුද්ගලයා තමයි කොන්දොස්තර මහත්මයා. ඒක අපේ අයිතිය. හැබැයි කොන්දොස්තර මහත්මයා වැඩේ ගාණකට ගත්තේ නැත්තං කෙලීන්ම පොලිසියට කතා කරන්නත් අපිට අයිතිය තියෙනවා.
දැන් පැහැදිලියිනේ බස් රථයක ගමන් ගන්න මගියෙක්ට තියෙන අයිතිවාසිකම්. මේ කිව්වේ අපිට නිතර දෙවේලේ අත්විඳින්න වෙන අවස්ථාවන් ගැන විතරයි. ඒ වගේම තව දෙයක්. මෙතනදී යම් කිසි අසාධාරණයක් වෙන්නේ තමන්ට නෙවෙයි කියලා ඇස් කන් පියාගෙන ඉන්න ඕන නෑ. සහෝදර බස් මගියෙක්ට වෙන අසාධාරණයකට විරුද්ධව වුනත් කතා කරන්න අපිට පුලුවන් කම තියෙන්න ඕනා. දැන් මේ වගේ තැනකදී දැනුම් දෙන්න තියෙන අදාළ තැන් කියලා අපි කිව්වේ මොනවද? එක්කෝ බස් එකේ ටිකට් එකේ පිටිපස්සේ තියෙනවා බස් රථය අයිතිකරුගේ අංකය. ඒකට කතා කරන්නත් පුලුවන්. හැබැයි නියමම විදිය තමයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට කතා කරන එක. ඒකේ පැමිණිලි අංකය ඇතුළත් ස්ටිකරයකුත් දැන් හැම බස් එකකම වගේ ගහලා තියෙනවා.

බස්නාහිර පළාත සඳහා
පැමිණිලි දුරකථන ඔස්සේ දැනුම් දීමට: 011 2871353/ 011 5557554
නැගෙනහිර පළාත සඳහා
පැමිණිලි දුරකථන ඔස්සේ දැනුම් දීමට: 026 2226350
දකුණු පළාත සඳහා
පැමිණිලි දුරකථන ඔස්සේ දැනුම් දීමට: 091 2234237 /091 5458187-88
වයඹ පළාත සඳහා
පැමිණිලි දුරකථන ඔස්සේ දැනුම් දීමට: 037 2222617/ 037 4692296
සබරගමුව පළාත සඳහා
පැමිණිලි දුරකථන ඔස්සේ දැනුම් දීමට: 035 2232295
මධ්‍යම පළාත සඳහා
පැමිණිලි දුරකථන ඔස්සේ දැනුම් දීමට: 081 2242412/  081 2424326
උතුරු මැද පළාත සඳහා
පැමිණිලි දුරකථන ඔස්සේ දැනුම් දීමට: 025 2236227/ 025 2220767
ඌව පළාත සඳහා
පැමිණිලි දුරකථන ඔස්සේ දැනුම් දීමට: 055 2222810/ 055 2231914