රෝහණ විජේවීර සම්බන්ධයෙන් ඔබ නොදත් කරුණු
අපි කැමති වුනත් නැතත් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක රෝහණ විජේවීර ගැන පිළිගන්න සිද්ධ වෙන ඇත්තක් තියෙනවා. ඒ තමයි විජේවීර කියන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විතරක් නෙවෙයි, ඉතිහාසයේම හැරවුම් ලක්ෂ්‍යයක් කියන එක. ශ්‍රී ලංකාවේ කැරළි දෙකකට මග පාදපු ජේවීපීය මේ වෙනකොට ආයුධ සන්නද්ධ අරගලයෙන් ඉවත් වෙලා ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ප්‍රවාහයට එකතු වෙලා ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් අඳුරු කාලපරිච්ඡේද දෙකක් වුණු මේ කැරළි වලින් මිය ගියපු සංඛ්‍යාව අසීමිතයි. කොහොම වුනත් පොදුවේ රෝහණ විජේවීරගේ කතාන්තරය ලංකාවේ ගොඩක් දෙනෙක් දන්නවා. අපි මේ කියන්න යන්නේ රෝහණ විජේවීර ගැන වැඩි දෙනෙක් නොදන්න කරුණු කාරණා
1. විජේවීර සහ අතීත දුක්ගැහැට
Source – boondi.lk
රෝහණ විජේවීරගේ හැබෑ නම වෙන්නේ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර. 1943 ඉපදුණු ඔහුට පුංචි කාලේ ඉඳන්ම දිළිඳුකම, කුල පීඩනය, සමාජ කොන්වීම් වගේ දේවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි විජේවීර අවුරුදු 4 ක විතර කාලේදී ඔහුගේ පියා වුණු දොන් අන්දිරිස් විජේවීර මැර ප්‍රහාරයකට ලක් වෙනවා. ඒ 47 මැතිවරණයේ වැඩ නිසා. ඒකෙන් සදාකාලික අබ්බගාතයෙක් බවට පියා පත්වීමත් එක්ක විජේවීරගේ පවුල තවත් අගාධයට යනවා. කොහොම හරි ඔත්පල වෙලා නැගිටින්න බැරුව හිටි විජේවීරගේ පියා 1965 දී තමයි මිය යන්නේ.
විජේවීර විශ්වාස කරන්නේ දේශපාලන උසිගැන්වීම් නිසා තමන්ගේ පියාට පහර දෙන්නේ දෙණියායේ ද්‍රවිඩ වතු කම්කරු පිරිසක් කියලා තමයි. කොහොම වුනත් මේ සිදුවීම කොයි වගේ කම්පනයක් ළමා විජේවීරගේ හිතේ ඇතිකරන්න ඇතිද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ දේශපාලන ක්‍රමයෙන් පළිගන්න, ඒ ක්‍රමය වෙනස් කරන්න කැරලි ගහන විජේවීර එක්කම ලංකාවේ තරුණයෝ 80,000 කට අධික පිරිසක් මිය යනවා.
2.විජේවීර සහ ප්‍රභාකරන්
Source – colombotelegraph.com, frontline.in
විජේවීර සහ ප්‍රභාකරන් කියන දෙන්නා සංසන්දනය කිරීමම වැරදියි කියලා කෙනෙක් කල්පනා කරන්න පුලුවන්. ඒත් තම තමන්ගේ දෘෂ්ටි වාදයන් පැත්තකින් තියලා බැලුවොත් පේන දෙයක් තමයි මේ දෙන්නා අතරේ කොයි තරම් සමානකම් තිබුණද කියන එක. මේ දෙන්නම පහළ සමාජ ස්ථරයන්ගෙන් පැන නැගිලා, පහළ සමාජ පන්තිවල ඉන්න ජනතාව නැතිනම් සුළුතර වාර්ගික ජනතාව වෙනුවෙන් සටන් කරන්න කියලා දේශපාලන ව්‍යාපාර ගොඩනඟපු අය. ඒ අරමුණ ගැන දෙන්නගේම තිබුණු කැපවීම ගැන කියන්න දෙයක් නෑ. විජේවීරයන්ගේ ඒ කැපවීම ජීවිත පරිත්‍යාගය දක්වාම දිගු වෙනවා. ප්‍රභාකරන්ට වුනත් අවසානයේදී ජීවිතයෙන් සමුගන්න වෙනවා.
මේ දෙන්නම අති දක්ෂ විදියට මිනිස්සුන්ගේ හිත් වලට කතා කරන්න හැකියාව තිබුණු අය. විශේෂයෙන්ම රෝහණ විජේවීරගේ වාග් කෞෂල්‍යය නිසාම සුසිල් සිරිවර්ධන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය ගාමිණී කීරවැල්ල, මහාචාර්ය ගාමිණී සමරනායක, ආචාර්ය විජිත නානායක්කාර, අනගාරික ධර්මසේකර, මහින්ද විජේසේකර, වික්ටර් අයිවන් වැනි පුද්ගලයන් වගේම උදේනි බන්ධුල, කුමානායක, වසන්ත දිසානායක වගේ ලංකාවේ හිටි විශිෂ්ටතමයින් ගණනාවක්ම තමන්ගේ ව්‍යාපාරයට දිනාගන්නට විජේවීර සමත් වෙනවා.
3. විජේවීර සහ චීන කොමියුනිස්ට් පක්ෂය
Source – pri.org, boondi.lk
හැට ගණන් වලදී ලංකාවේ කොමියුනිස්ට් ව්‍යාපාරය මුහුණ දුන් බරපතළම බෙදීමක් තමයි චීන-රුසියානු මතභේදය. කොහොම වුනත් සෝවියට් දේශයේ ලුමුම්බා සරසවියේ වෛද්‍ය විද්‍යාව හදාරමින් හිටි නන්දසිරි විජේවීර නොහොත් රෝහණ විජේවීර නිවාඩුවකට ලංකාවට ආපු වෙලාවේ ලංකාවේ චීන කොමියුනිස්ට් පක්ෂයට එකතු වෙනවා. ඇත්තටම මේ කාලේ අවුරුදු විසි එකක් වුණු විජේවීර රුසියාවේ ඉන්නකොටත් චීන කොමියුනිස්ට් පක්ෂයට වැඩ කරලා තියෙනවා.
හැබැයි මේක ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ තාවකාලික නිවාඩුවෙන් පස්සේ විජේවීර ආයෙමත් රුසියාවට යන්න ගියහම. ලංකාවේ සෝවියට් තනාපති කාර්යාලයෙන් විජේවීරගෙ වීසා අත්හිටුවනවා. ඒක නිසා විජේවීරගේ ශිෂ්‍ය භාවයත් අහෝසි වෙනවා. මේ නිහීන පළිගැනීම කරන්නේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ කේ.පී.සිල්වා විසින් කියලා තමයි අහන්න ලැබෙන්නේ. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ ඒ වෙනකල් චීන පිළේ හිතවතෙක් විදියට විතරක් හිටපු විජේවීර ක්‍රියාකාරීව චීන පිළ වෙනුවෙන් වැඩ කරනවා. චීන පිළේ අපේක්ෂක සාමාජිකයෙකුත් වෙනවා.
කොහොම වුනත් චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන ව්‍යාපාරයෙන් තෘප්තිමත් නොවෙන විජේවීර පක්ෂය ඇතුළේම ‘ප්‍රති-කණ්ඩායමක්’ ගොඩනඟනවා. ඒක තමයි පහුකාලෙකදී ජනතා විමුක්ති පෙරමුණ බවට නිර්මාණය වෙන්නේ.
4. විජේවීර සහ රෝහණ නාමය
4. විජේවීර සහ රෝහණ නාමය
Source – bbc.com
1966 ජනවාරි 9 රෑ ගම්පහ වැලිවේරියේ තිබුණු අත් හැර දමපු ‘සුනන්දා’ ෆිල්ම් හෝල් එකේදී විජේවීර සහ ඔහුගේ ප්‍රධාන අනුගාමිකයින් රැස් වෙනවා. ඊට කලින් දවසේ චීන කොමියුනිස්ට් පක්ෂයේ විජේවීරයන් විසින් සංවිධානය කරලා තිබුණු වැඩ වර්ජනය සහ විරෝධතා පෙළපාලිය සහ ඒකට රජයෙන් දීපු ප්‍රතිචාරය විජේවීරට ජවිපෙ සංවිධානය හදන්න ලොකු හේතුවක් වෙනවා. විශේෂයෙන්ම එතකොට තිබුණු එක්සත් ජාතික පක්ෂය ඒකාධිපතිවාදයක් කරා ගමන් කරනවා කියලා විශ්වාස කරපු විජේවීර මේ සුනන්දා හෝල් එකේ තිබුණු රැස්වීමේදී කියා හිටින දේ තමයි, රටේ ඇතිවෙන මේ වගේ ඒකාධිපති රෙජීමයක් වුනත් පරාජය කරන්න පුලුවන් විදියේ නියම රතු හමුදාවක් රටේ ගොඩනගන්න ඕන කියන එක. එතනදී තමන්ගේ අනන්‍යතාවය රහසිගතව තියාගන්න එකේ අවශ්‍යතාවය ගැන කියන නන්දසිරි විජේවීර කියනවා එතැන ඉඳන් තමන් විජේවීර කියන නමින් නැතුව “රෝහණ” කියන නමින් ක්‍රියාත්මක වෙනවා කියලා.
පසුකාලෙක අයිකන් එකක් වුණු රෝහණ විජේවීර කියන නම හැදෙන්නේ එහෙමයි.
5. විජේවීර සහ විවාහය
Source – dailynews.lk
විජේවීර කණ්ඩායමේ අනුගාමිකයින්ට දුම් බීම සහ මත්පැන් පානය වගේම ප්‍රේම සම්බන්ධතා පැවැත්වීමත් විජේවීර තහනම් කරලා තිබුණේ. පක්ෂයට හොරෙන් හරි ප්‍රේම සම්බන්ධතා ගොඩනඟාගත් සාමාජිකයින්ව නෙරපා හරින්නටත් බොහෝ අවස්ථාවලදී කටයුතු යෙදිලා තියෙනවා. සමහරුන් කියන දෙයක් තමයි විජේවීර බොහොම කුලෑටි තරුණයෙකු වුණු නිසා, කාන්තා ආශ්‍රය තමන්ට අසීරු නිසා හුදු ලිංගික ඊර්ෂියාව මත පදනම්ව ගත් තීරණයක් කියන එක. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් විදියට ගත්තහම සාමූහිකත්වය තියාගන්න, එක් එක් පුද්ගලයින්ගේ අරමුණු කැඩිලා නොගිහින් තියාගන්න මේ පියවර ගත්තා වෙන්න පුලුවන් කියලත් තවත් සමහරු කියනවා.
හැබැයි එක දෙයක් සාධකයක් විදියට දක්වන්න පුලුවන්. විජේවීර විසින් පනවපු මේ නීතිය විජේවීරම කඩලා දානවා. පහුකාලීනව ප්‍රේම සම්බන්ධතා දෙක තුනක් ඇතිකරගන්නා විජේවීර එක මොහොතක දේශපාලන රැස්වීමකදී තමන් සහ යසෝමා අතර සම්බන්ධය ගැන පාපොච්චාරණය කරන්නේත් තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය වුණු නිසා. හැබැයි මේ දෙබිඩි පිළිවෙතට විජේවීර සහ රහසේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්තු අනික් ජවිපෙ නායකයෝ දෙන්නෙත් විහිළු නිදහසට කාරණා. විජේවීර කියන්නේ තමන්ට විවාහයට බල කිරීමක් තියෙන නිසාත්, ව්‍යාපාරයට පිටින් කෙනෙක්ව ජීවිතයට සම්බන්ධ කර ගන්න එක අවදානම් නිසාත් යසෝමා එක්ක හාද වුනා කියල තමයි.
කොහොම වුනත් විජේවීර විවාපත් වෙන්නේ දොස්තර චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දුගේ නැගණිය වුණු චිත්‍රාංගනී එක්ක. කටකතා වල හැටියට චිත්‍රාංගනී මුලින් ඒකට අකමැති වුනහම කෝප වුණු චන්ද්‍ර සුභාෂ් තර්ජනය කලාලු මේකට අකැමැති වුනොත් වෙඩි තියලා මරලා දානවා කියලා! කොහොම හරි චිත්‍රාංගනී සහ විජේවීර විවාපත් වෙනවා.
6. විජේවීර සහ ළමා සොල්දාදුවෝ
Source – jvpsrilanka.com
තවත් කතාවක් තමයි ලංකාවේ මුලින්ම ළමා සොල්දාදුවෝ ඇති කලේ රෝහණ විජේවීර කියන එක. මේ ළමා සොල්දාදුවන්ව හැඳින්වුණේ “රතු ගැටවු” කියලා. ධර්මන් වික්‍රමරත්න ලියපු ‘ජවිපෙ දෙවන කැරැල්ල’ පොතේ සඳහන් වෙනවා රතු ගැටවු සංවිධානය පිහිටවුනේ 1980 දෙසැම්බර් 31 සහ 1981 ජනවාරි 1 දවස් දෙකේ කියලා. හැබැයි අහන්න ලැබෙන්නේ 71 කැරැල්ලේත් මේ රතු ගැටවු ළමා සොල්දාදුවෝ හිටියා කියලා තමයි. මේ අය මනුෂ්‍ය ඝාතන වලට පවා සම්බන්ධ වෙලා හිටි බව කියවෙනවා.
අහන්න ලැබෙන කතාවක් තමයි මේ රතු ගැටවු ව්‍යාපාරයේ සාමාජිකයෙක් වුණු 16 හැවිරිදි පාසල් සිසුවෙක් වුණු කෑගල්ලේ ජයතිලක, 71 කැරැල්ල කාලේදී උදැල්ලකින් පහරදීලා පබිලිස් නම් පොලිස් ඔත්තුකාරයෙක්ව මරා දැම්මා කියන එක. එතකොට කඩුගන්නාව පොලිසියට පහර දුන්නු අවස්ථාවේදීත් මේ වගේම රතු ගැටයෙක් අතින් පොලිස් නිලධාරියෙක් මිය ගියාලු. මේ කතාන්දර ඇත්තටම ඇත්තද කියන්න මූලාශ්‍ර නම් නැහැ.
මෙතනදී එක කොටසක් විජේවීර විසින් ඇති කරපු රතු ගැටවුන්ව ප්‍රභාකරන්ගේ ළමා සොල්දාදුවන් එක්ක සම කරනවා. හැබැයි තව කොටසක් කියන්නේ රට අගාධයට යන අඳුරු කාලෙකදී වයස් භේදයක් නැතුව ඕනෑම කෙනෙක්ට ආයුධ අතට ගන්න වෙනවා කියන එක තමයි. ඒකත් අපිට නැහැයි කියන්න බැහැ.
7. විජේවීර සහ ඔහුගේ ගමනේ අවසානය
Source – ytimg.com
රෝහණ විජේවීර ‘අත්තනායක’ කියන නමින් සැඟවිලා ඉන්න මොහොතකදී තමයි අත් අඩංගුවට ගැනෙන්නේ. එතනදී විජේවීර ඉල්ලන්නේ තමන්ගේ බිරිඳට සහ දරුවන්ට කිසිම කරදරයක් කරන්න එපා කියලා තමයි. කොහොම වුනත් විජේවීර ගේ මරණය සම්බන්ධයෙන් තවමත් හෙළි නොවුණු කරුණු කාරණා සෑහෙන්න තියෙනවා.
මුලින්ම ප්‍රශ්න කරන්නට ගෙනියන විජේවීරගෙන් ඉහළ හමුදා නිලධාරීන් බොහොම හොඳින් ප්‍රශ්න කරපු බව වාර්තා වෙනවා. කොහොම වුනත් පසුව ආපු දුරකථන ඇමතුමක් එක්ක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා කියලා තමයි කියවෙන්නේ. 1989 නොවැම්බර් 13 පාන්දර බොරැල්ල ආදාහනාගාරයට විජේවීරව ගේන කොටත් ඔහුට සෑහෙන්න වධ බන්ධනයන් දීලා නොමරා මරපු තත්ත්වයක හිටියා කියලා පස්සේ කාලෙකදී හෙළිදරවු වුනා. ඇත්තටම වෙඩි තිබ්බට පස්සෙත් ආදාහනාගාරයට දානකොට විජේවීරගේ ප්‍රාණය නිරුද්ධ වෙලා නෑ. ඔහුව පුළුස්සන්නේ පණ පිටින්!
ඒ කාලේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස එක මොහොතකදී විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී එක්ක කියනවා විජේවීර මියගියේ තමන් කියූ දේ අහපු නැති නිසා කියලා. එතකොට තවත් කටින් කට ඇහෙන දූෂමාන ආරංචියක් තමයි, රෝහණ විජේවීරව මරාදාපු පුවත අහපු රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ඒ වෙලාවේ ඇඬුවා කියන එක. හැබැයි මේ දේවල් කටින් කට එන කතාන්තර මිසක් කොහේවත් ලිඛිතව සඳහන් වුණු ඒවා නෙවෙයි.
කොහොම වුනත් එදා බොරැල්ල කනත්තෙන් කෙළවර වෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වුණු නායකයෙක්. තරුණ ජීවිත ගණනාවක් නැතිවෙන්න විජේවීර හේතු වුනා කියලා චෝදනා එල්ල වෙනවා තමයි. ඒත් ජනතා විමුක්ති පෙරමුණ සහ රජයට විරුද්ධ කැරළි දෙක ඉතිහාසයෙන් නැති වුනා කියලා රට මීට වඩා හොඳ තත්ත්වයක තියෙයිද, එහෙම නැත්නම් ඒකාධිපති රෙජීමයකට රට නතු වෙලා ඊට එහා ඝාතන සිද්ධ වෙන්න නොතිබුණාද? මේවා උත්තර නැති ප්‍රශ්න.