ක්‍රිකට් ක්‍රීඩාවේදී භාවිතාවට ගැණෙන අලුත්ම තාක්ෂණය


ආදිකාල එංගලන්ත කණ්ඩායමේ හිටපු ඩබ්ලිව්.ජී.ග්‍රේස් පප්පා ඇවිල්ලා පට්ටම පට්ට බැටිං පෙරේතයෙක්ලු. අම්පහේ කොච්චර අවුට් දුන්නත් මෙයා නෙමෙයිලු අවුට් එක පිළිගන්නෙ. එහෙව් බැටිං පෙරේත ග්‍රේස් පප්පා ජීවිතේ මුල් වතාවට සාධාරණව අවුට් එකක් පිළි අරන් ගිහින් තියනවා කියන්නෙ 1891 දි අපේ රටේ සිංහ පැටවුන් එක්ක ගහපු මැච් එකකදී කියලයි වාර්තා වෙන්නෙ. ඒකත් හැබැයි අපේ සිංහයන්ට බයේ නම් නෙමෙයි. අවු රස්නෙ වැඩි නිසාලු අවුට් එක දීල ගිහින් තියෙන්නෙ. ග්‍රේස් පප්පා වගේ මුරණ්ඩු හිතුවක්කාරයෙක් ඇරුණහම ඒ කාලේ ඉඳන් කවුරුත් අම්පහේගෙ තීරණේට ගරු කරලා තමයි මේ මහත්තුරුන්ගෙ ක්‍රීඩාව ක්‍රීඩා කෙරුවෙ. හැබැයි ඉතින් කල් යද්දි යද්දි මේ තීරණේට උනත් එකපාර ගරු කරලා හිස නමලා ඉන්න බැරි තත්ත්වයක් උදාවුනා. විශේෂයෙන්ම දුවද්දී දැවීයාම්, කඩුල්ල මුවාකිරීම් වගේ දේවල් වලදි අම්පහේල අතින් වෙච්ච වැරදි නිසා සමහර තීරණාත්මක තරඟ වල ප්‍රතිඵල පවා වෙනස් උනා. සමහර හොර අම්පයර්ලා හිතා මතා වැරදි තීරණ දීල ක්‍රීඩාවේ ගෞරවය කෙළසපු අවස්ථාත් නැතුවා නොවෙයි.
මේ වගේ වැඩ සිද්ධ වෙද්දි සමහරු කතා වෙන්න පටන් අරන් තිබ්බා අලුත් තාක්ෂණික ක්‍රම වල සහය ඇතිව අපිට බැරිද මේ වැරදි අඩුකරගන්න මොනා හරි කරන්න කියලා. එහෙම ඇතිවෙච්ච උනන්දුව ඇසුරින් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ අද වෙනකොට තියෙන තාක්ෂණයන් බොහොමයකට පාර කපපු තුන්වැනි විනිසුරු තාක්ෂණය බිහිවෙන්නෙ. එතැන් සිට අද දක්වා ගතවූ කාලය ඇතුලතදි ක්‍රිකට් ක්‍රීඩාව ලෝකේ අනිත් ක්‍රීඩා වලට සාපේක්ෂව තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් ඉතාම ඉදිරියට ඇවිත් තියනවා.
අද අපේ ලිපියෙන් අපි ඔබට කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේදී යොදාගන්නා ඒ විදිහෙ නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ගැන තමයි.
මේ ඔක්කොටම මුල් උනේ ශ්‍රී ලාංකිකයෙක්…
මහින්ද විජේසිංහ කියන නම අහල තියනවද?
ඒ තමයි තුන්වැනි විනිසුරු සංකල්පය ලෝකෙට හඳුන්වාදීපු පුද්ගලයා. එතුමා අපේ හිටපු පළමුපළෙ ක්‍රීඩකයෛක්. ඒ වගේම ක්‍රිකට් ලේඛකයෙක්.
DRS Tech
Source – youtube.com/Mahinda Wijesinghe – A Sri Lankan cricket innovator
මහින්ද මහත්මය විසින් ඉදිරිපත් කරන ලද අදහසකට අනුව තුන්වැනි විනිසුරු තාක්ෂණේ මුලින්ම ප්‍රයෝජනයට ගන්නෙ 1992දි ඉන්දියාවත් දකුණු අප්‍රිකාවත් අතර පවත්වපු ටෙස්ට් තරඟයකදීයි. දකුණු අප්‍රිකානු ජාතික විනිසුරු සිරිල් මිච්ලි ලෝකෙ පළවෙනි තර්ඩ් අම්පයර් හැටියට වාර්තා අතරට යද්දි අපේ එහා රටේ ක්‍රීඩක සචින්ටත් ඕනෙ උනා තුන්වැනි විනිසුරු මගින් අවුට් වෙච්ච පළමු ක්‍රීඩකයා හැටියට වාර්තා පොත් අතරට යන්න. ඉතින් එයා කලේ ලෝකේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම පන්දු රකින්නා වෙච්ච ජොන්ටි රෝඩ්ස් අතට ගහල දුවලා රනවුට් වෙන එක.
ඒ කාලෙ ට්‍රැෆික් සිග්නල් ලයිට් එක වගේ තිබ්බ තර්ඩ් අම්පයර් සිග්නල් එක දැන් දැකුම්කලු තිරයක් බවට හැරිලා. රනවුට් වලින් පටන් අරගෙන හතරෙ හයේ පාරවල් සහ අසීරු උඩපන්දු ගැන තීරණය කිරීම දක්වා යොදාගත්ත තුන්වැනි විනිසුරු තාක්ෂණෙත් අද වෙද්දි DRS දක්වාම දියුණු වෙලා.

1. DRS/UDRS
DRS Tech
Source – dominicsayers.com
ක්‍රිකට් ක්‍රීඩාවට ටිකෙන් ටික නවීන තාක්ෂණයන්ගෙ සහය ලැබෙන්න පටන් ගනිද්දි සමහරු කියපු කාරණයක් තමයි මේ හැම දේකටම තාක්ෂණේ ප්‍රයෝජනයට ගන්න එකේ LBW වලටත් මේක පාවිච්චි කරන්න බලමුය කියන එක. හැබැයි ඒ වැඩෙන් අම්පයර්ගෙ තත්ත්වෙ බාල්දු වේවිය කියල මුලදි වැඩි දෙනෙක් ඒකට මනාපයක් දක්වපු පාටක් පේන්න තිබ්බෙ නෑ. හැබැයි ඉතින් කොහොමින් කොහොමින් හරි 2009 අවුරුද්ද වෙද්දි අම්පයර්ගෙ තීරණේටත් අභියෝග කරන්න පුලුවන් තාක්ෂණයක් ආව. ඒ තමයි DRS හෙවත් Decision Reviewing System.
DRS එක ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල අපේ ක්‍රිකට් රසික රසිකාවියන්ට ලොකු පැහැදිලි කිරීම් අවශ්‍ය වෙයි කියල අපි හිතන්නෙ නෑ. මේ ක්‍රමයෙන් සරළවම වෙන්නෙ විනිසුරු විසින් තමන්ට ලබාදීපු තීරණේ වැරදිය කියල හිතෙන අවස්ථාවක ඒ තීරණේ අභියෝගයට ලක්කරන්න පිතිකරණයේ හෝ පන්දු රැකීමේ යෙදෙන කණ්ඩායම් වලට අවස්ථාව ලැබෙන එකයි. මේ විදිහට පිටියේ විනිසුරුගෙ තීරණයක් යම් කණ්ඩායමක් විසින් අභියෝගයකට ලක් කලහම ඒ තීරණයේ හරි වැරැද්ද විමසා බැලීම සඳහා යොමු වෙන්නෙ තුන්වැනි විනිසුරුටයි. පියවි ඇසින් බලල, කණින් අහල තීරණය ලබාදෙන පිටියේ විනිසුරුට වගේ නෙමෙයි තුන්වැනි විනිසුරුට තමන්ගේ තීරණේ ලබාදෙන්නට Hawks eye, Ultra Edge, Hot spot වගේ තාක්ෂණයන් රැසක සහය ලැබෙනවා. මේ නවීන තාක්ෂණික ක්‍රම මගින් අදාල රූපරාමු සියුම් ලෙස පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව තමයි තුන්වැනි විනිසුරු විසින් තමන්ගේ තීරණය පිටියේ විනිසුරු වෙතට ලබාදෙන්නේ. මෑතකදී පටන් තුන්වැනි විනිසුරු මේ තීරණය ගන්නා ආකාරය සහ පිටියේ විනිසුරුට ඔහුගේ තීරණය ලබාදෙන ආකාරයත් ක්‍රීඩාලෝලීන්ට සජීවීව පෙන්වනු ලබනවා.

2. Hawks Eye
DRS Tech
Source – telegraph.co.uk
තුන්වැනි විනිසුරුට කඩුල්ල මුවාකිරීමේ තීරණ ලබාදීමේදී දැවැන්ත සහයක් ලබාදෙන තාක්ෂණයක් තමයි මේ හෝක්ස් අයි තාක්ෂණය. මෙහි නිර්මාතෘවරයා වන්නෙ පෝල් හෝකින්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ක්‍රීඩාවට යොදාගැනීමට කලින් මිසයිල් වල ගමන් පථය හඳුනාගන්නටත්, යුද්ධයකදී සතුරු ප්‍රහාර කළින් හඳුනාගන්නටත්, මොලයේ ශල්‍යකර්ම සඳහාත් තමයි මේ තාක්ෂණය පාවිච්චි කරල තියෙන්නෙ. ක්‍රිකට් වලදි මේ තාක්ෂණයෙන් කරන්නේ පන්දුවේ ගමන්මාර්ගය ගැන තීරණය කරන එකයි. මුලින්ම කරන්නේ පිටියේ විවිධ තැන්වලින් රඳවන ලද විශේෂ වීඩියෝ කැමරා 6ක් හෝ ඊට වැඩි ගණනක් මගින් පන්දුවේ ගමන් මාර්ගය වීඩියෝ ගත කරන එකයි. මේ කැමරා සියල්ලම තවත් විශේෂ පරිගණකයක් හා සම්බන්ධ කරලයි තියෙන්නෙ. මේ පරිගණකය මගින් අර කැමරාවලින් එවනු ලබන පන්දුවේ ගමන් මාර්ගයේ දර්ශන ඇසුරින් පන්දුවේ ඉදිරි ගමන් මාර්ගය ගැන ත්‍රිමාන දර්ශනයක් නිර්මාණය කරනවා. පන්දුවේ දෝලනය, දඟකැවීම සහ වේගය වගේ කාරණාත් ග්‍රහණය කරගෙන පන්දුවේ අපේක්ෂිත ගමන් මාර්ගය දක්වන්න මේ තාක්ෂණේට පුලුවන්.

3. Hot Spot
DRS Tech
Source – milorambles.com
හොට් ස්පොට් තාක්ෂණයෙන් මූලිකවම කරන්නේ පන්දුව පිතිකරුවාගේ පිත්තේද වැදුනේද නැද්ද යන්න තීරණේ කරන එකයි. උඩපන්දු සහ කඩුල්ල මුවාකිරීමේ තීරණ සඳහා මේ තාක්ෂණයෙන් සෑහෙන සහයක් ලැබෙනවා. පිටියේ දෙපැත්තෙන් රඳවන අධෝරක්ත (Infrared) කැමරා දෙකක් මගින් තමයි මේ හොට් ස්පොට් රූප රාමු ලබාගන්නේ. පන්දුව පිතිකරුගේ පිත්තේ හරි වෙනත් ආවරණයක හරි වදිද්දී එම ස්ථානයේ ඇතිවන උෂ්ණත්වය සහ ඝර්ෂනය මේ කැමරා වල දීප්තිමත් ලපයක් හැටියට සටහන් වනවා. එය නෙගටිව් කලුසුදු රූපරාමුවක් හැටියට තිරයේ දිස්කරනු ලබනවා. කොහොම වෙතත් ඉතා සියුම් ලෙස පිත්තේ දැවටී යන උඩපන්දු සම්බන්ධයෙන් මේ තාක්ෂණය යොදාගැනීම අසාර්ථකයි කියලත් සමහරු මත පලකරනවා.
හොට් ස්පොට් තාක්ෂණයත් ක්‍රීඩාවට භාවිතා කරන්න කලින් යුධ තාක්ෂණයක් හැටියට පැවතුණු එකක්. මේ තාක්ෂණය යුධ කටයුතු වලදි යොදාගෙන තියෙන්නෙ අඳුරු හෝ දුමින් වැසුණු පරිසරයකදී ප්‍රතිවාදී යුද්ධ ටැංකි සහ ගුවන් යානා ආදිය හඳුනා ගන්නටයි. ක්‍රිකට් පිටියේදී පිතිකරුගේ නෙගටිව් රූපයක් තාපය ඇසුරින් නිර්මාණය කරනවා වගේම යුධ පිටියේදිත් අධෝරක්ත කැමරා මගින් තාපජ රූප ග්‍රහණය කරගෙන සතුරු ඉලක්ක හඳුනාගන්නට මේ තාක්ෂණය ප්‍රයෝජනයට අරන් තිබෙනවා.
4. Snickometer/Real-Time Snickometer
DRS Tech
Source – ebuyer.com
ස්නිකෝමීටරය මගින් කරන්නේ පන්දුව පිත්තේ හෝ ශරීර ආවරණයක වදිද්දී ඇතිවන ශබ්ද තරංග ග්‍රහණය කර පෙන්වීමයි. මෙහිදී පන්දුව, පිත්ත සහ පිතිකරුගේ පා ආවරණ ආදිය මගින් ඇතිවන ශබ්ද අවට අනෙකුත් ශබ්ද වලින් පෙරා වෙන්කොට රේඛා සටහනක් මගින් පෙන්වීම සිදු කරනවා. කොහොම වෙතත් මෙම ශබ්ද සහ වීඩියෝ දර්ශන සකස්වීමට ගතවෙන කාල වේලාව වැඩි නිසා ස්නිකෝමීටරය DRS වලට ඇතුලත් වෙන්නේ නැහැ. හැබැයි දැන් පරණ ස්නිකෝමීටරය වෙනුවට රියල් ටයිම් ස්නිකෝමීටර තාක්ෂණය ඇවිල්ල තියනවා. මේ මගින් කලින්ට වඩා සෑහෙන ඉක්මනින් ශබ්දය සහ දර්ශන එකවර දක්වන රූපරාමු ලබාගන්නට පුලුවන් වෙලා තියනවා.

5. Ultra Edge
DRS Tech
Source – vimeo.com
අල්ට්‍රා එජ් කියන්නෙත් ස්නිකෝ මීටර් වගේම මයික්‍රෆෝන මගින් ලබාගන්නා ශබ්ද තරංග දක්වමින් උඩ පන්දු සම්බන්ධ තීරණ ගැනීමේදී සහය වෙන තාක්ෂණයක්. හැබැයි මේ තාක්ෂණය ස්නිකෝමීටරයට වඩා ඉදිරියෙන් තමයි ඉන්නෙ. පන්දුව පිත්තේ, පා ආවරණයේ සහ ඇඳුම් වල ස්පර්ෂ වෙද්දි නිකුත් වෙන ශබ්දය ස්නිකෝමීටරයට වඩා සාර්ථක අයුරින් හඳුනා ගන්නට අල්ට්‍රා එජ් තාක්ෂණයට හැකියාව තිබෙනව. ඒ වගේම මේ තාක්ෂණය මගින් විවිධ කෝණයන්ගෙන් යුතු රූපරාමු කිහිපයක්ම නිර්මාණය කරල පන්දුව පිත්තේ වදින මොහොත සහ ශබ්දය නිකුත් වෙන මොහොත වඩාත් පැහැදිලිව හඳුනාගන්න පහසුකම් සලස්සල තියනවා.

6. LED ස්ටම්ප්ස් සහ බේල්ස්
DRS Tech
Source – khabridost.in
බේල්ස් ඉවත්උන සැනින් රතුපාටින් ලයිට් පත්තුවෙන විකට් පොලු සහ බේල්ස් මේ වෙද්දි සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟවලට නැතුවම බැරි අංගයක්. පිටියේ ඉන්න විනිසුරුට විතරක් නෙමෙයි තුන්වැනි විනිසුරුට උනත් තීරණයක් ගනිද්දි මේ තාක්ෂණය සෑහෙන උපකාරයක් වෙනවා. මොකද පිතිකරුවෙක් දුවද්දී දැවීයාමටකට හෝ ස්ටම්ප් වීමකට ලක්වී දැවීයාමකට ලක්වෙන්න නම් බේල්ස් කඩුල්ලෙන් සම්පූර්ණයෙන්ම ඉවත්විය යුතු වනවා. මේක රූපවාහිනී පුනරූපන දර්ශන බැලීමෙන් උනත්  අඳුනගන්න අමාරු කාරණයක්. කොහොම වෙතත් මේ අලුත්ම LED තාක්ෂණය නිසා ඒ වැඩේ දැන් හරිම ලේසි වෙලයි තියෙන්නෙ. ප්ලාස්ටික් මිශ්‍රව තනපු විකට් පොලු සහ බේල්ස් වලට LED බල්බ යොදා සකස් කරල තියන මේ විකට් සිස්ටම් එකේදි ඒ LED එළි දැල්වෙන්නේ බේල්ස් සම්පූර්ණයෙන්ම කඩුල්ලෙන් ඉවත්වූවායින් පසුවයි. අඩු වෝල්ටීයතාවයකින් යුතු බැටරියකින් ක්‍රියාත්මක වෙන මේ බේල්ස් වල ඇති මයික්‍රොප්‍රොසෙසරයක් මගින් විකට් පොලු සහ බේල්සය අතර සම්බන්ධතාවය හඳුනාගෙන බේල්ස් ඉන් ඉවත්වූ සැනින් LED සංඥාව නිකුත් කරවනු ලබනවා.

7. Speed Guns
DRS Tech
Source – conacher.wordpress.com
ඔයාල දැකල ඇති පන්දු යවන්නාගේ හැම පන්දුවක් අවසානයේම වාගේ ලකුණු සටහනත් එක්ක සටහන් වෙන පන්දුවේ වේගය. මේ වේගය මනින්නෙ ස්පීඩ් ගන් නැමති උපකරණයක් මගින්. මේ උපකරණය ස්ථාන ගත කරල තියෙන්නෙ ක්‍රීඩාංගනයෙ දර්ශන තිරය අසලයි. මේ උපකරණය විසින් මයික්‍රොවේව් තරංග නිකුත් කරමින් තමයි පන්දුවේ ගමන් මාර්ගය ඇසුරින් වේගය තීරණය කරනු ලබන්නෙ.

8. කැමරා තාක්ෂණය
ක්‍රිකට් ක්‍රීඩාවට යොදාගන්න කැමරා තාක්ෂණයත් දවසින් දවස දියුණු වෙමිනුයි පවතින්නෙ. විවිධ කැමරාකෝණ රැසකින් යුතු දර්ශන රාශියක් අපිට සජීවී තරඟයක් නරඹද්දී දකින්න ලැබෙනව. මේ කියන්න යන්නෙ මෑතකදී ක්‍රිකට් වලට වෙනසක් එක්කල කැමරා වර්ග කිහිපයක් ගැන

Ultra-Motion Camera
DRS Tech
Source – hindustantimes.com
මැච් එකක් යන අතරතුර හරිම ලස්සන මියුසික් එකක් එක්ක ෆුල් ස්ලෝමෝෂන් රීප්ලේ එකක් පෙන්නන අවස්ථා ඔයාලට මතක ඇති. අන්න ඒ වගේ දර්ශන පටිගත කරන්න තමයි මේ අල්ට්‍රා මෝෂන් කැමරා කියන අධිවේගී කැමරා භාවිතා කරන්නෙ.



Spidercam
DRS Tech
Source – couriermail.com.au
ක්‍රිකට් තරඟයක හැම අහුමුල්ලක්ම ආවරණය කරමින් අපිට හිතාගන්නත් බැරි කෝණ වලින් දර්ශන ලබාදෙන ස්පයිඩර් කැම් එක කියන්නෙ සුපිරිම වැඩ කෑල්ලක් තමයි. ක්‍රීඩාංගනයට ඉහලින් කේබල් මතින් ගමන් කරන අකාරයට සකසා තිබෙන මේ කැමරාවට ඉහල පහල වගේම හරස් අතටත් ක්‍රීඩාංගනය පුරාම ගමන් කරන්න හැකියාව තියෙනවා.



Umpire cam
DRS Tech
Source – lockerdome.com
අහසේ, පොලවේ, හැම අස්සක් මුල්ලක්ම ආවරණය වෙන්න ස්ථාන ගත කරල ඉවරවෙලත් වැඩේ ඉවර උනේ නැහැ. අම්පයර්ට පේන විදිහ අපිට පෙන්නන්න කියලත් කැමරාවක් හයිකලා. ඒ අම්පයර් කැමරාව නමින්. අම්පයර්ගෙ හිස් වැසුමට තමයි මේ කැමරාව හයි කරල තියෙන්නෙ. මේවනම් තාක්ෂණය ඕනෑවට වඩා කරදරයක් වෙන වැඩ කියලයි හිතෙන්නෙ.