තනිකඩ ජීවිතේ තියෙන දුක සහ සැප

ලංකාවේ නං සාමාන්‍යයෙන් අවුරුදු විසිපහ, විසිහය පනිනකොට අම්මලා තාත්තලා, නැන්දලා මාමලා විතරක් නෙවෙයි, අහල පහල ඇසිලිං නැන්දලා, අබිලිං ගොයියලා එහෙමත් අපිව මූණට මුලිච්චි වුණු ගමන් මන්තරේ වගේ මතුරන්න ගන්න දෙයක් තියෙනවා. “දැන් කලවයස හරි නේද, තාම නැද්ද පෙළවහක් කොරගන්න කම්පනාවක්?” ඔය වෙලාවට අම්මලා තාත්තලා අහල පහල හිටියොත් ඒ අයත් ෆෝම් වෙනවා. එතකොට අපිට අබිලියගේ කැවුතු අදින්න හිතෙනවා. හැබැයි අපි හීනියට අමාරු හිනාවක් දාලා “බලමු, බලමු” කියලා මාරුවෙනවා. හරි දැන් ඔහොම කලවයස ඇවිල්ලත් කසාද නොබැඳ ඉන්නේ අහවල් පුස්නාම්බුවක් තනියෙන් කන්නද? සමහරු නං අපිට කියන්නේ “මට තනිකඩ ජීවිතේ තරං වෙන මොකක්කත් සැප නෑ ඕයි” කියලනේ. හැබැයි ඇත්ත කතාව උන්ට ගෑණුවත් පිරිමිවත් සෙට් වෙන්නෙ නෑ. හැබැයි වැඩිහරියක් ඔහොම ඉන්න එවුන්ට ඇත්තටම කසාද ජීවිතේට වඩා තනිකඩ ජීවිතේ ආතල් නිසා එහෙම ඉන්නවා වෙන්න පුලුවන්. ආන්න ඒ නිසා අපි කරන්න යන්නේ උදවුවක්. තනිකඩ ජීවිතේ තියෙන ආතල් සහ දුක් සීන් පෙන්නලා දෙන්නයි යන්නේ. එතකොට ඒක කියවලා මේ පුත්තලං බූරුවෝ තුන් හතර දෙනෙක්ගේ වයසට කිට්‍ටු කරලා ඉන්න දුවාදරුවන්ට පුලුවන් හෙටම ජයමංගල කපු මහත්තයා හරි අනිවා සරණ මංගල සේවේ හරි හම්බවෙන්න යනවද කියලා තීරණේ කොරන්ට.

තනිකඩ ජීවිතේ තියෙන ආතල්

1. නිදහසේ!


Pros and Cons of Unmarried Life
Source – charlessledge.com

මෙන්න මේක තමයි පළවෙනි කාරණාව. ආය මිනිහෙක්ව හරි ගෑණියෙක්ව හරි කුරුල්ලෙක් කූඩුවක දාලා තියන්නැහේ කො‍ටු කොරන් හදන්ට බෑනේ ආයුබොවන්ඩ. හැබැයි කසාද ජීවිතේ කියන්නෙම ඔහොම කො‍ටු කිරිල්ලක් වෙන්ඩ බැරිත් නෑ ඕං. කොහොම හරි කියන්න ආවේ මේකයි ඕං. තනිකඩව ඉන්න හාදයෙක්ට හාදියක්ට තමන්ට ඕන දේ තමන්ට ඕන විදියට තමන්ට ඕන වෙලාවට තමන්ට ඕන කෙනෙක් එක්ක කොරන්ඩ නිදහස තියෙනවා. ආය කාගෙන් කියලා අහ අහා ඉන්නද? ඉන්දියාවේ වන්දනාවක යන්න ඕන කියලා හිතුවද, සල්ලි තියේ නං, නිවාඩුවකුත් ගන්න පුලුවන් නං සිල් රෙදි ටික හොයාගෙන, මල්ල කරේ දාගෙන යන්ටයි තියෙන්නේ. හැබැයි කසාද බැඳලා හිටියොත් එහෙම එවුවා බෑනේ.

2. ෂල්ලි නං මොනාද මල්ලි!


Pros and Cons of Unmarried Life
Source – life-hotel.it

ඕන දෙයක් කරන්න සල්ලි තියෙනවා ඉතින්. ඒ කියන්නේ අර මහා ලොකුවට එදිනෙදා වැඩවලින් ඉතුරුවක් වෙන්නෙ නං නෑ. හැබැයි කසාදෙට කරන වියදමේ ඉඳන් කසාදයක් බැඳලා දෙන්නා තුන්දෙනා වුනාට පස්සේ කෙරෙන වියදං ඔක්කොම ඉතුරුයි. සමහරවිට එහෙම ඉතුරුවක් තියෙන නිසා ලෝකේ වටේ සවාරියක් වගේ ජීවිත කාලෙම හීන දැක දැක හිටපු දෙයක් වුනත් හැබෑ කරගන්න පුලුවන්. ඇයි අනාගතේ වෙනුවෙන් පොදි ගහලා ඉතුරු කරන්න ඕන කියලා දෙයක් තනිකඩයෙක්ට නෑනේ. තමන්ගේ විශ්‍රාම ජීවිතේ සුරක්ෂිත කරගෙන තිබුණා නං එච්චරයි.

3. කෂිලි බිෂිලි නෑ


Pros and Cons of Unmarried Life


දැං පරස්තාවක් කරගත්තට පස්සේ දෙන්නා දෙමාල්ලෝ බත ඉදෙනකල් හරි හීනියට රණ්ඩුවක් නං අල්ලනවාමනේ. එහෙම රණ්ඩුවක් වෙලා නැත්තං උන් දෙන්නා ගෑණියි මිනිහයි වෙන්න විදියක් නෑ. බෝඩිංකාරයෝ වෙන්ඩෝනෑ. කොහොම වුනත් ඔය සමහර හාදයෝ හාදියෝ ඉන්නවා තමන්ගේ පාඩුවේ, තමන්ගේ සාමේ, තමන්ගේ සැපේ ඉන්න එක තරං වෙන දෙයක් නැති. ඉතින් එහෙම ඩයල්ස් එකකට ඔහොම මාසෙකට සැරයක් හරි රණ්ඩුවක් සෙට් වෙනවා කියන්නේ හිතෙනවා මොකටද මං කසාද බැන්දේ කියලා. ආන්න තනිකඩ ජීවිතේ හොඳ. කවුරු කෂිලි බිෂිලි දාන්න එන්නද.

4. කැරියර් එක ගොඩ!


Pros and Cons of Unmarried Life
Source – portoimperial.com.br

දැන් පවුල්කාරයෙක් වෙනව කියන්නේ පරස්තාවයි රක්සාවයි දෙකම බැලන්ස් කරන්න වෙනවා කියන එකනේ අහක්වෙලා. ඒ කිව්වේ ගොඩක් වෙලාවට ඔ‍ෆිස් ටයිම් එකෙන් පස්සේ අනිවා ගෙදර එන්න වෙනවා. රස්සාවේ උඩට යන්න තියෙන අවස්ථා පවා සමහරක් වෙලාවට පූජා කරන්න වෙනවා කසාද ජීවිතේ ගැන හිතලා. මොකද දෙගොඩහරි ජාමේ වෙනකල් ඔ‍ෆිස් වැඩ කරලා ගෙදර ඇවිත් ඊලඟ විබාගෙට පාඩං කොරන ඩයල් එකක් කසාද බැඳලා ඉන්න මොන ගෑණිද කැමති වෙන්නේ? මොන මිනිහද කැමති වෙන්නේ? හැබැයි තනිකඩ නං ඔය ප්‍රස්න මොකුත් නෑ. පවුල් ජීවිතේකට යොදෝන කාලේ, ශ්‍රමය සම්පූර්ණයෙන්ම තමන්ගේ ඉහළ නැගීම වෙනුවෙන් යොදවන්න පුලුවන්.

5. ඕන කෙනෙක් එක්ක එලියට ගිනින් ආවැහැකි


Pros and Cons of Unmarried Life
Source – queer-lake.net

ලංකාවේ විදියට ඉතින් ගොඩක් වෙලාවට කසාදයක් කියන්නේ සෑහෙන්න කැපකිරීමක් තමා අහක්වෙලා. ඉස්සර හැම සිකුරාදාම යාලුවෝ සෙට් එකත් එක්ක එලියට ගිහින් හීනියට දෙකක් දාලා, එලියෙන් කාලා, ෆන් එකක් අරගෙන ආපු හාදයෙක්ට බැන්දට පස්සේ සිකුරාදා රෑත් හත වෙනකොට ගෙදර යන්න වෙනවා. හැබැයි තනිකඩ ජීවිතේට කාගෙන් තහනංද දොරේ. ඕන තැනක ගෙහුන්, ඕන එකෙක් එක්ක කතා කරලා, ඕන එකෙක් එක්ක යාලු වෙලා සැපේ ඉන්නයි තියෙන්නේ. කෙළෝගන්නෙ නැතුව ෆන් එක ගන්න දන්න, තමන්ගේ ලිමිට් ගැන දන්න මනුස්සයෙක්ට මේ වගේ නිදහසක් සෑහෙන්න වටිනවා.

තනිකඩ ජීවිතේ තියෙන දුක් සීන්

6. සල්ලි වලින් ඇති වැඩකුත් නෑ!


Pros and Cons of Unmarried Life
Source – glamour.com

ඇත්ත කතන්දරේ තමයි තනිකඩව ඉන්නකොට සල්ලි ඉතුරු වෙනවා කියලා අපි කිව්වට, ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට පාලනයකින් ජීවත් නොවෙන තනිකඩයෙක්ට මොනවහරි වියදම් කරන්න සීන් එකක් සෙට් වෙනවා. අනික හොයලා බලන්න කෙනෙකුත් නැති නිසා ඕන දේටයි එපා දේටයි සල්ලි කොළ හුළ‍ඟෙ ගිහිල්ලා අන්තිමට හුප්පෙ තමයි. ඇත්තටම කිව්වොත් වැඩියෙන් සල්ලි විසිවෙන්නේ එපා දේට තමයි. හැබැයි ඉතින් පොඩ්ඩක් මොළේ කල්පනා කරලා වැඩ කරන ඩයල් එකකට එහෙම වෙන්නෙ නෑ කියලත් කියන්න ඕන. හැබැයි තව එකක්. එහෙම සල්ලි ඉතුරු කරලා පොදි ගහගෙන හිටියත් අන්තිමට මැරෙන දවසකදී හිතෙන්න පුලුවන් ඒ සල්ලි වලින් ජීවිතේ තේරුමක් තියෙන දේවල් ආදරේ කරන කෙනෙක් එක්කම කරන්න තිබුණා කියලා

7. අනික් එවුන් ඔක්කොම බැඳලා!


Pros and Cons of Unmarried Life
Source – huffingtonpost.com

දැං තමං තනිකඩ වෙලා ඉන්න තීරණේ කොලා කියලා අනික් එවුවොත් අපිත් එක්ක තනිකඩ සංගං අටෝගන්න එන්නෙ නෑනේ බොලං. ඉතින් යාලුපිට් නැතිවෙන්නෙත් නෑ. හැබැයි එක දවසක යාලුවෝ පවුල් පිටින් සැට් වෙන වෙලාවල් එනවනේ. රී-යුනියන් කියයි, ගෙට් ‍ටුගෙදර් කියයි, හයිඩ් අවුට් කියයි. දැං ඔය අටමගල් වලට යාලුවො එන්නේ හස්බන්ඩෝ, වයිපර් කැන්දගෙනනේ. හැබැයි අපි තනිකඩ සැපේනේ. ඉතිං අපි එන්නෙ තනියෙං. මේ වගේ වෙලාවකට ඔය තාවකාලිකව යන ලව් එකක්වත් අරං එන්නෙ නෑනේ. හැබැයි දැන් එකට ඉන්නකොට අනික් එවුන් තම තමන්ගේ ප්‍රියම්බිකාවෝ, ප්‍රිය සුවාමියෝ එක්ක ඉන්නකොට අපි තනියෙන්. ඔන්න එතකොට දැනෙනවා පොඩි අවුලක්. පොඩි තනිකමක්.

8. මං තනිවෙලා!


Pros and Cons of Unmarried Life
Source – boombob.ru

හුඟක් වෙලාවට බැඳපු එවුන් තනිකඩ යාලුවන්ට ඉරිසියා කරනවනේ. තනියෙන් සෙට් වුණහම “අඩෝ උඹලට නං ඉතින් ජීවිතේ ආතල් නෙහ්” කියලා කියනවනේ. හැබැයි ඇත්ත කතන්දරේ තමයි සෙට් වෙලා ඉවරවුණහම උන් ගෙදර ගිහින් වයිෆ්ව හරි හස්බන්ඩ්ව හරි තුරුල් කරගෙන නිදාගන්නවා කියන එක. අපි ගෙදර ගිහින් එක්කෝ කොට්ටේ බදාගෙන හරි නැත්තං තාවකාලික ආදරවන්තයෙක් හරි ආදරවන්තියක් එක්ක හරි තමයි නිදාගන්නේ. ඉතින් ඔහොම ගෙහුන් එක දවසකදී හිතෙනවා ‘මටත් ජීවිතේ බෙදාගන්න කෙනෙක් හිටියා නං’ කියලා. අන්න එතකොට තමයි තනිකඩ ජීවිතේ තුහ් කියලා හිතෙන්නේ.

9. කාටදැයි මේ දුක කියන්නේ!


Pros and Cons of Unmarried Life
Source – edward-thomas-hardy.tumblr.com

තනිකඩව ඉන්න එක ආතල් වෙන්නේ සැපේම ඉන්න තියෙනව නං තමයි. හැබැයි ඔය ජීවිතේ කියන එකේ සැප විතරක් නෙවෙයිනේ තියෙන්නේ. දුක් සීනුත් අනන්තයි, අප්‍රමාණයි. ආන්න ඒ වගේ වෙලාවකට තමයි හිතෙන්නේ ඔය හිතට අල්ලපු එකක් කරකාර බැඳගත්ත නං, මේ වෙලාවේ කතා කරල දුක කියන්නවත් එකෙක් ඉන්නවනේ කියලා. දැන් ඔය විද්‍යාඥ ගොල්ලෝ හොයාගෙන තියෙනවලුනේ තනිකඩ එවුන් හෘදයාබාදෙකින් එහෙම වැලිගම්පිටි යන්නත් වැඩි සම්භාවිතාවයක් තියෙනව කියලා.

10. ආදර ජීවිතයක් නෑ ඕයි!


Pros and Cons of Unmarried Life
Source – chobirdokan.com

තනිකඩව ඉන්නවා කිව්වහම අපි ගන්නේ කසාද බැඳලා නෑ කියන එක විතරක් නෙවෙයි. දීර්ඝකාලීන සම්බන්ධෙක නෑ කියන එකත් ඕකටම අහුවෙනවනේ. ආන්න එතනින් තමයි අපේ අන්තිම පොයින්ට් එකට එන්නේ. දැං කසාදෙක හරි ඉස්තිර සම්බන්ධෙක හරි ඉන්නව කියන්නේ අනිවා හොඳ සෙක්ස් ලයිෆ් එකක් ගෙනියන්න ඉඩ තියෙනව කියන එකනේ. විශ්වාසවන්ත සහකරුවෙක් හරි සහකාරියක් එක්ක හරි තියෙන ලිංගික ජීවිතේ පරිස්සං. ඒ වගේම ලව් එකත් එක්ක තියෙන සෙක්ස් මල් මසුරං. හැබැයි කසාද නොබැඳ ඉන්නකොට එක්කෝ වෙන්නේ සිල් රකින්න. නැත්තං තාවකාලික සම්බන්ධතා හොයං යන්න. ඒක ඉතින් කොයි තරං ප්‍රස්න ගොඩක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙන්නෑනේ.

හරිද? කියෙව්වද? එහෙමනං දැන් අම්මලට කියලා එකක් හොයාගන්න හරි, තනියෙන් එකක් හොයාගන්න හරි පුලුවන්. එහෙම නැහ්නං බැ‍ඳෙන්න තනිකඩ සංගමේට!