මිනිස්සු ඔබව USE කරනවා කියලා හිතෙනවද? එහෙමනම් එතනින් ගැලවෙන්න
තමන්ව කොයි මොහොතක හරි පාවිච්චි වෙනවය කියන හැඟීම කොයි තරම් අප්‍රසන්න වුනත්, නරකම දේ තමයි අපි හැමෝම කවදා හරි ඔය විදියට පාවිච්චි වෙලා තියෙනවාය කියන එක. ඒ කියන්නේ අඩුම ගාණේ අපේ ජීවිතේට අපිව යූස් කරන්න උත්සාහ ගන්න එක මනුස්සයෙක්ව හරි මුණගැහිලා තියෙනවාය කියන එක බොරුවක් නෙවෙයි. හැබැයි මේ කතා කරන්නේ එහෙම ජීවිතේට එක පාරක් දෙපාරක් සිද්ධ වෙන දේවල් ගැන නෙවෙයි. සමහරු ඉන්නවා අපිත් එක්ක යාලුකමින් හරි වෙනත් සම්බන්ධතාවයක් පිට හරි කිට්‍ටුවෙන් ඉන්නෙම අපිව පාවිච්චි කරන්න. අපිටත් තේරෙනවා මේ සම්බන්ධතාවයේ මොකක්ද අවුලක් තියෙනවා කියලා. අපිට ඒ සම්බන්ධය හරි යාලුෆිට් එක හරි ඇත්තටම සතුටක් නෙවෙයි පීඩනයක්. ඒත් අපි යාලුකමේ නාමයෙන්, ආදරයේ නාමයෙන් ඉවසගෙන දිගටම ඉන්න උත්සාහ කරනවා. එහෙම නැතිනම් ඒ කෙනාව සතුටු කරන්න අපි විරුද්ධත්වයක් නැතුව ඒ කෙනාට ඕන කරන හැමදෙයක්ම කරලා දෙනවා.

Source – giphy.com

Source – alphamom.com

Source – classroom.synonym.com

Source – herfamily.ie

Source – smosh.com

Source – youtube.com/Prasad Abeykoon – Adarei Nam

Source – everydayfeminism.com

Source – glee.wikia.com

Source – youtube.com/Raween Kanishka-Oyata Maawa

Source – lomaorientadores.wordpress.com

Source – reactiongifs.com
හරි දැන් මතුවෙනවා ප්‍රශ්න දෙකක්. කොහොමද අපි තේරුම් ගන්නේ යාලුකමක් හෝ ආදර සම්බන්ධයක් ඇතුලේ අපිව පාවිච්චි වෙනවද නැද්ද කියලා? එතකොට අපි එතනින් ගැලවෙන්න නම් මොනවද කරන්න ඕන?
ඔබව පාවිච්චි වෙනවද කියලා අඳුනාගන්නේ මෙහෙමයි
1. හැම මොහොතේම ඔබෙන් දෙයක්
අපිව පාවිච්චි කරන කෙනෙක් අපිට කතා කරන්නේ ගොඩක් වෙලාවට අපෙන් දෙයක් ලබාගන්න. ඒ කියන්නේ සල්ලි කීයක් හරි වෙන්න පුලුවන්. උදවුවක් වෙන්න පුලුවන්. කොහේ හරි යන්න එන්න කියන්න වෙන්න පුලුවන්. එහෙමත් නැතිනම් වඩාත් ඉමෝෂනල් දෙයක් වෙන්න පුලුවන්. ඒ කියන්නේ හිත හැදෙන්න කතා කර කර ඉන්න, එයාගේ පාලුව මකා ගන්න වගේ දේවල්.
2. හැබැයි ඔබට මොකුත් නැහැ
මෙන්න දෙවෙනි සහ වැදගත්ම කාරණාව. කෙනෙක් අපිව පාවිච්චි කරනවද කියලා තේරුම් ගන්න නම් කරන්න ඕන දේ සරලයි. අපේ වුවමනාවකදී ඒ කෙනා හැසිරෙන්නේ කොහොමද කියල බලන්න. නිතරම අපෙන් භෞතික දේවල් ඉල්ලන්න කතා කරන යාලුවෙක්ගෙන් තමන්ට දෙයක් ඉල්ලලා බලන්න. නිතරම අපෙන් උදවු ඉල්ලන කෙනෙක්ගෙන් අපිට උදවුවක් ඉල්ලලා බලන්න. එතකොට අපිට පැකිලීමක් නැතුව උදවු කරන්න, ඉල්ලන දෙයක් දෙන්න ලැහැස්තියි නම් එතන තියෙන්නේ යාලුකමක් මිසක් අපිව පාවිච්චි කිරීමක් නෙවෙයි. හැබැයි මොනව හරි හේතු කියලා අපේ ඉල්ලීම මග අරිනවා නං සැකයක් තියාගන්න එපා, ඒ කෙනා යාලුවෙක් තියා හිතවත් මනුස්සයෙක්වත් නෙවෙයි.
3. එයාට ඕන වෙලාවට තමයි කතා කරන්නේ
ඇත්තටම ඉමෝෂනලි අපිව යූස් කරන එක සෑහෙන්න වෙලාවලදී වෙන වැඩක්. ඒක අල්ලගන්න කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි එක මොහොතක අපිටත් අවධානය ඉල්ලා හිටින එක. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපි නිතරම ඒ කෙනාගේ දුක අහන්න, තනියට ඉන්න, පාලුවට කතා කරන්න ලඟ ඉන්නවා කියමුකෝ. ඒ කෙනාට ප්‍රශ්නයක් වුණු ඕනම වෙලාවක අපිට කතා කරනකොට අපි එයාට ඇහුම්කන් දෙන්න, ප්‍රශ්නේ විසඳගන්න උදවු කරන්න සූදානම් කියමුකෝ. හැබැයි අපිට කතා කරන්න කෙනෙක් ඕන වුණු වෙලාවක, අපිට ප්‍රශ්නයක් වුණු වෙලාවක, අපිට දුක කියන්න ඕන වුණු වෙලාවක එයාට කතා කළොත් එයා ඉඳීද? අන්න එතනින් තමයි ජෙනුයින් යාලුවෙක්ද අපිට ඉන්නේ නැත්නම් අපිව පාවිච්චියට ගන්න මනුස්සයෙක්ද කියන එක තෝරබේරගන්න පුලුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට අපිව පාවිච්චි කරන මනුස්සයෙක් නං අපිට අවධානය ඕන වෙලාවකදී එයාට ඒකට වෙලාව නැහැ.
4. හොඳක් අහන්නත් නැහැ
මෙන්න මේ ජාතිය තමයි අපිව පාවිච්චි කරන මිනිස්සුන්ගෙන් ජරාම ජාතිය. ඒ කියන්නේ අපි ඒ අයට දේවල් කරමින් ඉන්නකල් ෂේප්. හැබැයි අපි ඒ අයට උදවු සීයක් කරලා එකසිය එක් වෙනි උදවුව කරන්න බැරි වුනොත් රට වටේම කිය කියා යන්නේ “මෙච්චර යාලුවා කියාගෙන ඉන්නවා, ඒත් මේ උදවුව කරලා දුන්නේ නැහැ” වගේ කතන්දර තමයි. ඉතින් එහෙම එවුන්ව දුරින් දුරු කරන්න අමුතුවෙන් හිත හදාගන්න ඕනත් නැහැ.
මෙතනින් මිදෙන්නේ කොහොමද?
5. අපි ඉන්නේ හාවාට ඇඳලා කියන එක තේරුම් ගන්න
යාලුකමක් හෝ ආදර සම්බන්ධතාවයක් කියන්නේ ගනුදෙනුවක් නෙවෙයි. එතනදී ඔයා දුන්නොත් තමයි මමත් දෙන්නේ වගේ සීන් තියෙන්න ඕන නැහැ. එතකොට අපි යාලුවාට හෝ ආදරේ කරන කෙනාට දෙයක් කරලා ඒකට එයාගෙන් මොකුත් නොවුනා කියලා දීගේ අත ඇරෙනවා කියන එක ප්‍රශ්නයක්. හැබැයි මේ කියන්නේ ඒ වගේ අවස්ථාවක් ගැන නෙවෙයි. අපි මේ කියන්නේ නිරන්තරයෙන්ම සිද්ධ වෙන දෙයක් ගැන. හිතන්න අපි හැමදාමත් උදවු කරන්න, දේවල් ලබාදෙන්න, හිත හදන්න, පාලු මකන්න ලඟ ඉන්නවා කියලා. හැබැයි අපිට කතා කරන්න වුවමනා වුනු වෙලාවක, අපිට කරදරයක් වුනු වෙලාවක, අපිට උදවුවක් ඕන වුනු වෙලාවක ලඟ නැහැයි කියලා. ඒක එක පාරක්, දෙපාරක්, තුන්පාරක් නෙවෙයි නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ අපි පාවිච්චි වෙනවා කියන එකනේ. අන්න ඒ වෙලාවට මේ ලෝක සත්‍යය තේරුම් ගන්න හැකියාවක් තියෙන්න ඕන. ඒක තමයි මේ වගේ එක පැත්තකට විතරක් දේවල් ගලායන යාලුකමකින්, සම්බන්ධතාවයකින් මිදෙන්න මූලික කාරණාව.
6. හාවන්ට ඇන්දවීම් වලට නොරැවටෙන්න
මේ කාරණෙත් උඩින් කිවුව කාරණේට සම්බන්ධයි. දැන් ඔය අපිව රයිඩ් එකට ගන්න ලැහැස්ති වෙන මිනිස්සු දන්නවා අමුම මෝඩයෙක් නෙවෙයි නම්, කවදාහරි තමන් පාවිච්චි වෙනවා කියන එක ඒ මිනිස්සු තේරුම් ගන්නවාය කියන එක. ආන්න ඒ කාරණාව නිසා මේ අය කරන්නේ අපිව පාවිච්චි කරන ගමන් අපිව හාවාට අන්දවන එක. කොහොමද ඒක කරන්නේ? ඒ අය අපිව පාවිච්චි කරන පාවිච්චි කිරිල්ලට ලේසියෙන්ම දෙන්න පුලුවන් දේ තමයි වචන. ඒ කියන්නේ තේරුමක් ඇති වචන නෙවෙයි, නිකම්ම හිස් වචන. “යූ ආර් ද බෙස්ට්”, “ඔයා නැත්නම් මම මොනව කරන්නද මන්දා” වගේ වචන ඕනවට වඩා ගලාගෙන එනකොට හිතාගන්න මේ තමයි හාවාගෙ කොස්ටියුම් එක කියලා.
7. හාවාගේ ගෙදර විස්තර නොකියන්න
මේ වගේ අයගෙන් ගැලවෙන්න එකපාරම බැහැ. මොකද මේ අය අපිව අල්ලගෙන ඉන්නේ කූඩැල්ලන්ටත් වඩා තදට. ඒ නිසා පියවරෙන් පියවර තමයි ඉස්සරහට යන්න ඕන. මේකට පළවෙනි පියවර තමයි තමන්ගේ පුද්ගලික දේවල් ෂෙයාර් කරන එක නවත්තන එක. පර්සනල් විස්තර, ගෙදර දොරේ විස්තර කියන්නේ නැතුව ඔෆිෂියල් යාලු ලෙවල් එකක ඉන්න එක මෙහෙම තැනකින් ගැලවෙන්න වඩාත් පහසු කරයි.
8. කියන හැමදේටම හාවා වෙන එක නවත්තන්න
දැන් අපෙන් ඉල්ලන ඉල්ලන උදවුව, කියන කියන දේ කරලා දෙන එක නවත්තන්න ඕන. ඒ කියන්නේ අපේ වැඩ පාඩුකරගෙන අපිව පාවිච්චි කරන මිනිස්සුන්ට දේවල් කරලා දෙන එක, අපේ කාලේ කාගෙන දුක්ගැනවිලි අහගෙන ඉන්න එක නවත්තන්න ඕන. එකපාරටම නවත්තන්න බැරි නම් තමන්ට ඉඩ තියෙන වෙලාවට, හැකියාවක් තියෙන වෙලාවට විතරක් දෙයක් කරලා දෙන්න. දෙයක් කරන්න බැරි වෙලාවක කෙලින්ම බැහැ කියලා කියන්න ඉගෙන ගන්න.
9. ඉමෝෂනල් හා උගුල් වලට අහු නොවෙන්න
මෙන්න මේක පොඩ්ඩක් අමාරු තැනක්. අපිව වෙනදා වගේ රවුමේ ගන්න, අපි ලව්වා ඕන දේවල් කරවගන්න බැරි වෙනවා කියලා දැනුනු ගමන් මේ කට්ටිය පටන් ගන්නවා අපිට ඉමෝෂනල් උගුල් වලට අහු කරගන්න. “ඇයි ඔයා මට මෙහෙම කරන්නේ, ඔයා නැතුව මට වෙන කවුද ඉන්නේ, ඔයාගෙන් විතරයි මට මෙහෙම දෙයක් ඉල්ලන්න පුලුවන්, ඔයා මාව අතෑරියොත් මට තනිකමින් මැරෙන්න තමයි වෙන්නේ” වගේ ටෝක්ස් එනකොට තේරුම් ගන්න මේක උගුලක් කියන එක.
10. හාවෝ කරන්න එන්නෙ නැති යාලුවෝ ආශ්‍රය කරන්න
ගොඩක් වෙලාවට අපිව පාවිච්චි කරන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න අපිටත් බැරි හේතුවක් තියෙනවා. අපිටත් ඉන්නේ එයාලා විතරයි. ඒක එයාලත් දන්නවා. ඒ නිසා එයාලත් උත්සාහ කරනවා අපිව එයාලා වෙනුවෙන්ම තියාගන්න. ගොඩක් වෙලාවට අපි වෙන යාලුවෝ ආශ්‍රය කරනවට මේ වගේ අය කැමති වෙන්නෙත් නැහැ. ආන්න ඒ නිසා තමන්ට වැඩදායක යාලුවෝ ඇසුරු කරන්න පටන් ගන්න. තමන්ව පාවිච්චි කරන්නේ නැති, ජෙනුයින් යාලුවන්ව ජීවිතේට ලං කරගන්න. අන්න එතකොට ඔය අපිව යූස් කරන්න විතරක් තියාගෙන ඉන්න හාදයන්ව හලන්න සෑහෙන්න ලේසියි.
11. කෙලින් කතා කරන්න
සමහර වෙලාවට අපිව පාවිච්චි කරන්න එන යාලුවන්ගෙන්, ආදරවන්තයන්ගෙන් අපි ඈත් වෙනකොට එයාලට ඒක සෑහෙන අප්සට්. ඒ අපි නැතිවෙන දුක නිසා නෙවෙයි. අපෙන් ලැබුණු සපෝට් එක, උදවුපදවු, ඉමෝෂනල් හෙල්ප් එක තවදුරටත් ලැබෙන්නේ නැති නිසා. අන්න එතකොට ආයෙමත් ඒ අය කම්ප්ලේන් කරන්න පටන් ගනී. අපිව ඉමෝෂනල් උගුල් වලට අහු කරන්න උත්සාහ ගනී. ඒ වගේ වෙලාවට අපිට කෙලින් කතා කරන්න ගට්ස් තියෙන්න ඕන. අපි කියන දේට රණ්ඩු කළත්, හොටු පෙර පෙර ඇඬුවත් කෙලින් කියන්න පුලුවන් වෙන්න ඕන “ඉනෆ් ඊස් ඉනෆ්” කියලා.
මතක තියාගන්න. අපිව දරුණුවට පාවිච්චි කරන මනුස්සයෙක් එක්ක වුනත් අපි මෙච්චර කල් හිටියේ අපේ පැත්තෙන් ජෙනුයින් ෆීලින්ග්ස් තියෙන නිසානේ. ආන්න ඒ නිසා ඒ සම්බන්ධතාවයෙන් අයින් වෙන එක ලේසි වෙන්නෙ නෑ. බොහොම අමාරුයි. ඒත් තමන්ගේ හිත එක තැනක තියාගන්න. මේක කරන්නේ තමන්ගේ හොඳට කියන එක ඔලුවට ගන්න.